විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ කෝටි 127,800ක් දක්වා ඉහළට

Share

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් ලෝක ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වුවද පසුගිය 2020 වසරේදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ රුපියල් කෝටි 127,800ක් (අමෙරිකානු ඩොලර් මිලියන 7,104) දක්වා ඉහළ ගොස් තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තාවක් මඟින් හෙළි කරයි.

 

පසුගිය 2019 වසරේදී විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ අමෙරිකානු ඩොලර් මිලියන 6,717ක් බවද ඒ අනුව 2020 වර්ධනය සියයට 5.8ක් බවද ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක් මඟින් පෙන්වා දෙයි.

ඉතිහාසයේ ඉහළම මාසික ලැබීම වාර්තා කරමින් 2020 වසරේ දෙසැම්බර් මාසයේ විදේශීය අංශය ශක්තිමත් කිරීම සඳහා විදෙස් ප්‍රේෂණ අඛණ්ඩව දායක වී තිබෙන අතර මූල්‍ය ගිණුමේ, රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළෙහි සහ කොළඹ කොටස් වෙළෙඳපොළෙහි විදේශීය ආයෝජන 2020 වසරේ දෙසැම්බර් මාසයේදී සුළු ශුද්ධ ගෙවීම් වාර්තා කර ඇත.

විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ 2020 වසරේ දෙසැම්බර් මාසයේදී වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙන අතර 2020 වසරේ දෙසැම්බර් මාසයේදී ප්‍රේෂණ පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලර් මිලියන 813 දක්වා සියයට 22. 2කින් වර්ධනය වී තිබේ.

පසුගිය 2019 වසරේ දෙසැම්බර් මාසයේදී පමණක් එක්සත් ජනපද ඩොලර් මිලියන 665ක් විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් විසින් මෙරටට ප්‍රේෂණය කර තිබේ.

2020 වසරේ ජූනි මාසයේ සිට දක්නට ලැබුණු වැඩිවීම මඟින් 2020 වසරේදී සියයට 5.8ක වාර්ෂික වර්ධනයක් වාර්තා කරන ලද විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ, වසර තුළදී එක්සත් ජනපද ඩොලර් මිලියන 7,104ක් කරා ළඟා වී තිබෙන අතර එය 2019 වසරේදී ඩොලර් මිලියන 6,717ක් ලෙසින් වාර්තා විය.

Read more

Local News