ක්‍රීඩා ඇමති ඇතුළු පිරිසකට නොතීසි

Share

මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ සිදුව ඇති පරිහානිය වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මීළඟ නිලවරණයට පෙර නව ක්‍රිකට් ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ අරමුණින් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් සහ සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් එක්ව ගොනුකළ රිට් පෙත්සමට අදාළව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ප්‍රමුඛ විධායක කමිටුවට මාර්තු 15 වැනිදා අභියාචානාධිකරණයේ පෙනී සිටින්නැයි අද නොතීසි නිකුත් කෙරිණ.

 

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන මුත්තයියා මුරලිදරන්, සිදත් වෙත්තමුනි, මයිකල් තිසේරා, හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සලීම් මර්ෂුක්,  ජනාධිපති නීතිඥ ඩිනාල් පිලිප්ස්, ආචාර්ය පාලිත කොහොන, රියන්සි විජේතිලක ඇතුළු 12 දෙනෙකු විසින් මෙම පෙත්සම ඉදිරිපත්කර තිබේ.

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා, උප සභාපතිවරුන් වන රවීන් වික්‍රමරත්න, ජයන්ත ධර්මදාස , තිලක් වත්තුහේවා සහ ලේකම් මොහාන් ද සිල්වා යන මහත්වරුන් සහ ක්‍රිකට් විධායක කමිටුව පෙත්සමෙන් වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබේ.

පෙත්සම්කරුවන් වෙනුවෙන් සුදත් පෙරේරා ඇසෝසියෙට් නීතිඥ සමාගමේ උපදෙස් මත ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන සහ ආචාර්ය මිල්හාන් මොහොමඩ් යන මහත්වරු අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටියහ.

Read more

Local News