කාන්තා ප්‍රතිරූපයට හානි කරන අයට එරෙහිව දැඩ් පියවර

Share

මෙරට විවිධ සමාජ මාධ්‍ය භාවිතා කරමින් කාන්තා ප්‍රතිරූපයට හානි කරන අයවලුන්ට එරෙහිව සහ එවැනි ගැටළු වලින් පීඩාවට පත්වී සිටින කාන්තාවන්ගේ ගැටලු සඳහා කඩිනමින් පිලියම් යෙදීමට රජයක් ලෙස ක්‍රියාකරන බව ආරක්‍ෂක ලේකම් සහ රාජ්‍ය ආරක්‍ෂක හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පැවසීය. 

විවිධ ක්ෂේත්‍ර වල රැකියාවන්වල නියැලෙන කාන්තාවන්ගෙන් සිදුවන සේවය පිලිබඳ සිහිපත් කරමින් ආරක්‍ෂක ලේකම් විදෙස් රටවල ‌සේවය කරන කාන්තා ශ්‍රමිකයින්ගෙන් රටේ ආර්ථිකයට දක්වන සුවිශාල දායකත්වය පිලිබඳ අවධාරණය කළේය. 

එපමණක් නොව ජාතික ආරක්‍ෂාව සහ සමාජ ආරක්‍ෂාව ශක්තිමත් කිරීම සඳහා කාන්තාව දක්වන දායකත්වය පිළිබඳවද සිහිපත් කළේය. 

ශ්‍රී ලාංකීය වීර කාන්තාවන්ගේ උදාර සේවය ඇගයීම සඳහා Team Hero විසින් කොළඹ ලක්‍ෂමන් කදිරගාමර් ආයතනයේ දී ඊයේ(07) සංවිධානය කරන ලද උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස රැස්ව සිටි පිරිස අමතමින් ආරක්‍ෂක ලේකම් මේ බව පැවසීය. 

Team Hero  සමග අත්වැල් බැඳගනිමින් කාන්තා කළමනාකරණ ආයතනය ජාතික ලොතරැයි මණ්ඩලයේ අනුග්‍රාහකත්වයෙන් “අභිමන්ලිය” වැඩසටහන පවත්වන ලද අතර විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණ කාන්තා විද්වතුන් මෙම උත්සවයට සහභාගී විය. ශ්‍රී ලාංකීය වීර දියණියන්ට උපහාර පිණිස නිර්මාණය කරන ලද “අභිමන්ලිය” ගීතය එළිදැක්වීම මෙහිදී සිදුවිය.

මෙම ගීතයේ පද රචනය සංගීතය හා ගායනය සිදුකල තරුණ ශිල්පීන්දෙදෙනාට ආරක්‍ෂක ලේකම් සිය කෘතඥතාවය පළකළේය. 

“අභිමන්සල” රණවිරු සුවතා නිකේතනයේ සිටින රණවිරුවන් ඇතුළු අබාධිත රණවිරුවන්ගේ මවුවරුන් සහ බිරින්දෑවරුගේ අතිමහත් කැපවීම පිලිබඳ ව ජෙනරාල් ගුණරත්න මහතා මෙහිදී සඳහන් කළේය. “යුධ සමයේ දී රණවිරුවන්ගේ මව්වරුන් සහ බිරින්දෑවරුන් විඳි අපහසුතා සහ  ආතතිය විඳදරාගැනීම පිළිබඳ මුළුමහත් ජාතියේ ප්‍රණාමය ඔවුන්ට හිමිවන බව නිසැකයි” යනුවෙන් ඔහු තවදුරටත් පැවසීය. ත්‍රිවිධ හමුදා, පොලීසිය, වෛද්‍ය, ව්‍යාපාරික, පරිපාලන, කළා, සාහිත්‍ය සහ ක්‍රීඩා ආදී ක්ෂේත්‍ර වලින් දැයට විශාල සේවයක් සිදුකල අභිමන්ලියන් වෙත සමරු ඵලකප්‍රධානය කිරීම මෙහිදී සිදුකෙරිණි. පුජ්‍ය බෙන්ගමුවේ නාලක හිමි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, ආරක්‍ෂක අමාත්‍යංශයේ හමුදා සම්බන්දතා නිලධාරී බ්‍රිගේඩියර් දිනේෂ් නානායක්කාර, ප්‍රවීණ කාන්තා විද්වතුන් සහ වෘත්තකයින්, කීර්තිමත් ව්‍යාපාරික කාන්තාවන්, ජ්‍යෙෂ්ඨ කාන්තා හමුදා සහ පොලිස් නිලධාරිනියන්, ජ්‍යෙෂ්ඨ කලාකරුවන් ඇතුළු සම්භාවනීය අමුත්තන් මෙම අවස්ථාවට සහභාගී විය.

Read more

Local News