රුසියානු කොවිඩ් එන්නතකරණය බස්නාහිර පළාතෙන් පිට අරඹන බව ඇමති කෙහෙළිය කියයි

Share

ස්පුට්නික් එන්නත ලංකාවට ලැබුණු පසු වෛරසය වැඩි වශයෙන් ව්‍යාප්ත වීමේ වැඩි ප්‍රතිශතයක් ඇති බස්නාහිර පළාතෙන් පිට පළාත් වලට ප්‍රථමයෙන්ම ලබා දීමට බලාපොරොත්තු වන අතර එම එන්නත් කලාප වශයෙන් වෙන් කර ලබා දීමට පියවර ගන්නා බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (24) දින පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාව අතරතුර මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.

මෙහිදී අමාත්‍යවරයා පවසා සිටියේ, ස්පුට්නික් එන්නත සඳහා කැබිනට් මණ්ඩලයේ මුදල් අනුමත කර තිබෙන බවත් මිලියන 3.5ක ජනතාව වෙත මාත්‍රා දෙක බැගින් මෙම ස්පුට්නික් එන්නත් තොගය ලබා දීමට හැකියාවක් ලැබෙන අතරම එය සැලැස්මකට අනුව ලබා දීමට කටයුතු කරන බවත්ය. එසේම ඉන්දියානු එන්නත දැනටමත් වෛරසය සීග්‍රයෙන් ව්‍යාප්ත වන දිස්ත්‍රික්කයන්හි ජනතාව වෙත ලබා දීමට කටයුතු කර ඇති බවත් පළමු එන්නත ලෙස ඇස්ට්‍රා සෙනෙකා එන්නතෙහි පළමු මාත්‍රාව ලබා ගත් සියලුම පාර්ශවයන්ට එම එන්නේතෙහිම දෙවෙනි මාත්‍රාවද ලබා දීමට කටයුතු කරන බවත්ය.

එසේම ජනමාධ්‍යවේදීන් වෙත මෙම එන්නත් ලබා දීමට අවශ්‍ය පියවර ගැනීමට එම ආයතනයන්ගෙන් ජනතාවත් සමඟ නිරන්තරයෙන්ම ගැටෙන පිරිසක් ලෙස කටයුතු කරන මාධ්‍යවේදීන්ගේ ලැයිස්තුවක් ඉල්ලුම් කර ඇති අතරම එසේ ලබා දුන් බොහෝ දෙනෙක් වෙත දැනටමත් එන්නත ලබා දී ඇති අතර ඉදිරියේදීත් මෙම එන්නත නොලැබුණු පිරිස් වෙතද ලබා දීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

Read more

Local News