දඹුල්ලෙන් සැක සහිත පොල්තෙල් කන්ටේනරයක් සොයා ගැනේ

Share

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස පෞද්ගලික ගබඩාවක තිබූ පොල් තෙල් ලීටර 28,000කට අධික ප්‍රමාණයක් අඩංගු සැක කටයුතු කන්ටේනර් රථයක් ඊයේ (01) රාත්‍රී සොයාගෙන තිබේ.

එම අවස්ථාවේදී කන්ටේනර් රථය සම්පූර්ණයෙන් ම ගබඩාව තුළට ගෙන තිබී ඇති අතර එම ගබඩාවේ වහලය මත තිබුණු ටැංකියකට මෙම පොල්තෙල් ගබඩා කරන අයුරු දැක ගැනීමට හැකි වූ බව සඳහන්.

අදාළ පොල්තෙල් විදේශ රටවලින් ගෙන්වා ඇති බවත් ඒවා මිනිස් පරිභෝජනයට සුදුසු ඒවාද යන්න සඳහනක් නොමැති බවත් වාර්තා වෙයි.

ප්‍රවාහනය සහ ගබඩා කිරීම සඳහා අවසරයක් ලබා ඇති ඒවා ද යන්න සම්බන්ධයෙන් කිසිදු ලියැකියවිල්ලක් එම පෞද්ගලික ගබඩාව සතුව තිබී නොමැති බවත් කන්ටේනර් රථය, අදාළ ගබඩාවේ භාරකරු සහ කන්ටේනර් රථයේ රියැදුරා පොලිස් භාරයට ගත් බවත් වැඩි දුරටත් වාර්තා වෙයි.

එම පොල් තෙල් තොඟය මිනිස් පරිභෝජනයට සුදුසු ද යන්න තහවුරු කර ගැනීම සඳහා අද දින සෞඛ්‍ය අංශ විසින් පරීක්ෂා කිරීමට නියමිතය.

අදාළ පොල් තෙල් තොඟය ප්‍රවාහනය කිරීමට හෝ ඒවා ගබඩා කිරීමට ලබාදුන් නීත්‍යානුකූල අවසරයක් පත්‍රයක් හෝ කිසිදු ලියකියවිල්ලක් නොමැති බවද දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා ප්‍රකාශ කළේය.

Read more

Local News