ඉදිරියේ දී ඉලෙක්ට්‍රික් සහ හයිබ්‍රිඩ් වාහන ආනයනය පිළිබඳ අවධානය

Share

ඉදිරියේ දී වාහන ආනයනය කිරීමේදී ඉලෙක්ට්‍රික් සහ හයිබ්‍රිඩ් වාහන ආනයනය කිරීම පිළිබඳව වැඩි සැළකිල්ලක් යොමු කරන බව අජිත් නිවාඩ් කබ්රාල් රාජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේය.

වාහන එකළස් කිරීම , විශේෂයෙන්ම ටයර් සහ සීට් මෙරටදී නිෂ්පාදනය කිරීම, පිළිබඳව මේ වන විටත් අවධානය යොමු කර ඇති බවත් ආයෝජන රටට ගලා එන පරිදි කටයුතු සිදු කරගෙන යන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

අද (05) පාර්ලිමේන්තුවේ සම්පූර්ණ දිනයම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ වාචික ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර විපක්ෂය විසින් යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

කෝවිඩ් අරමුදල සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අජිත් නිවාඩ් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, කොවිඩ් වසංගතයට මුවා වෙමින් රජයේ කටයුතු අඩාල කිරීමට විපක්ෂය උත්සාහ දරණ බවයි.

කොවිඩ් අරමුදල මහ බැංකු අධිපතිවරයාගේ අධීක්ෂණය යටතේ නිසි පරිදි සිදු කරන බවද රාජය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මේ අතර 2015 වසරේ සිට 2019 වසර දක්වා මෙරටට ආනයනය කළ වාහන ගණන 25,15546ක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 

ඒ සඳහා වියදම් කර ඇති මුදල රුපියල් බිලියන 1,239ක් බව වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේය.

Read more

Local News