නැවත විදුලිය විකුණගෙන මැතිවරණ කරන්න ඉඩ තියන්නේ නැහැ : විදුලි බල අමාත්‍ය

Share

විදුලිබල අමාත්‍යවරයා වශයෙන් අනාගතයේ කිසිම පක්ෂයකට, කිසිම දේශපාලඥයෙකුට විදුලිය විකුණගෙන මැතිවරණ කරන්නට ඉඩ තියන්නේ නැහැ යැයි විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, පසුගියදා අකුරැස්ස, දෙමටපස්ස, කොකනදොළ විදුලි යෝජනා ක්‍රමය ජනතා අයිතියට කැප කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.

මෙම ගම්මානයේ ජීවත්වන පවුල් 237 කගේ මූලික යටිතල පහසුකම් හෝ සොයා බැලීමට මෙතෙක් කලක් කිසිදු කැබිනට් අමාත්‍යවරයෙක් පැමිණ නොමැති අතර ගම්වාසීන් දැඩි දුෂ්කරතාවයන් මත ජීවත් වෙති.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

ඉතිහාසයේ මොන දේ සිදුවුවත්, අපි දැන් ඉතිහාසයට ඇගිල්ල දිගුකරලා වැඩක් නැහැ. මම දේශපාලඥයෙක් වශයෙන් අතීතයට ඇගිල්ල දිගුකරන කෙනෙක් නෙමෙයි. අතීතයේ කව්රු විසින් කුමන වරදක් කළත්, වර්තමාන විදුලිබල අමාත්‍යවරයා වශයෙන් මේ ක්ෂේත්‍රයේ යම් ගැටළුවක් තිබේනම්, ඒ සම්බන්ධයෙන් මම වර්තමානයට සහ අනාගතයට වගකිව යුතුයි.

ඒ වගකිමෙන් මට බැහැර වෙන්නට බැහැ. ඉතිහාසයේ පුරාවට අඩුපාඩු රාශියක් තිබෙනවා. මේ රටේ නායකයෝ දෙන්නෙක් බලශක්ති ක්ෂේත්‍රය සම්බන්ධයෙන් විශාල කැපකිරීම් කරලා, ශ්‍රී ලාංකික විදුලි ක්ෂේත්‍රයට සහන රාශියක් ලබා දීලා තිබෙනවා. මේ රටේ සමස්ත විදුලි ධාරිතාවයෙන් 41% ක් පමණ ලබාදීලා තිබෙන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා. ඒ වගේම හිටපු ජනාධිපති දිවංගත ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා විසින් එම අගයට මදක් අඩු විදුලි ධාරිතාවයක් ලබාදීමට කටයුතු කර තිබෙනවා. දේශපාලන මතවාද වෙනස් වෙන්න පුළවන්. නමුත් වර්තමාන විදුලිබල අමාත්‍යවරයා වශයෙන් මම ඒ ඉතිහාසය කෘතවේදිව සිහිපත් කළ යුතුයි.

එදා ජේ.ආර්. ජයවර්ධනලා, ගාමිණී දිසානායකලා මහවැලි ජලාශ ඉදිකරලා, මිල අවම ජල විදුලිය උත්පාදනයට යොමු නොවුනානම්, අද විදුලිබල ක්ෂේත්‍රය කුමන තත්ත්වයකට පත්වේවිද. මහින්ද රාජපක්ෂ මැතිතුමා 2013 දී ඉදිකළ අවසාන බලාගාරය වන නොරොච්චෝල බලාගාරය හදලා, එය විවෘත කරන දවසේ රටට තෑග්ගක් දුන්නා. ඒ තමයි විදුලි බිල 25% කින් අඩුකළා. අදට පවතින්නෙත් ඒ විදුලි බිල තමයි. එදා නොරොච්චෝල බලාගාරය නොහැදුවානම්, අද අප සිටින්නේ පැය 6ක්, 7ක්, විදුලි කප්පාදුවක් පවතින අදුරු රටක.

නොරොච්චෝල බලාගාරය ඉදිවීමෙන් පසුව ගතවූ වසර 8 තුළ රටේ වැඩිවූ විදුලි ඉල්ලුම සපුරා ලන්නට එකම බලාගාරයක්වත් ඉදිවෙලා නැහැ. මේකට කාටවත් දොස් කියලා වැඩක් නැහැ. වසර ගණනාවකින් එකම බලාගාරයක්වත් ඉදි නොවූ රටක විදුලිබල අමාත්‍ය ධූරය හිමිවූ වෙලාවේ, මට ඒ සම්බන්ධයෙන් විශාල බියක් ඇති වුණා. හරියට නපුරු හීනයක් වගේ. නමුත් අද මම සතුටු වෙනවා, මිනිසාගේ මූලික අයිතියක් වූ විදුලිය කප්පාදුවකින් තොරව ලබාදීමට හැකිවීම සම්බන්ධයෙන්. මිනිසාගේ අවශ්‍යතා ලේඛනයේ ආහාර වලටත් ඉදිරියෙන් තමයි විදුලිය තිබෙන්නේ. ඉතිහාසය පුරාවටම විදුලිය දේශපාලන පිටි වල පන්දුවක් බවට පත්වුණා. විදුලිය ඡන්ද පොරොන්දුවක් පමණක් කළා. ඡන්ද වලට මනාප වලට විදුලිය විකුණාගෙන කෑවා. මේක එක පක්ෂයකින් පමණක් නොවෙයි. අපේ ආණ්ඩු වලිනුත් ඒක කළා. නමුත් මම විදුලිබල අමාත්‍යවරයා වශයෙන් අනාගතයේ කිසිම පක්ෂයකට, කිසිම දේශපාලඥයෙකුට විදුලිය විකුණගෙන මැතිවරණ කරන්නට ඉඩ තියන්නේ නැහැ. මෙතෙක් කාලයක් මාතර දිස්ත්‍රික්කයේ ගම්මානයක ජනතාව විදුලිය නොමැතිව ජීවත්වීම සම්බන්ධයෙන් මම ඒ ජනතාවගෙන් සමාව අයදිනවා. මම මේ ගම්මානයට විදුලිය ලබා දුන්නා කියලා ඊලග මැතිවරණයට ඡන්දයක් ලබාගන්නට මම මේ ගම්මානයට එන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ.

පසුගිය දිනවලදී අපි සෞභාග්‍යයේ දැක්ම තුළින් කළුකැලේ එකළු කරමින් පවුල් 237 ක් වෙනුවෙන් විදුලිය ලබා දුන්නා. එම ගම්මානයට යන්නට එන්නට දිනයක් ගතවෙනවා. ඡන්ද 237 ක් වෙනුවෙන් එක් දිනයක් කැප කරන එක අපරාදයක් කියලා තමයි, මීට ඉහතදී එම ගම්මානය ගැන සොයා බලා විදුලිය ලබාදෙන්නවත් එකම කැබිනට් අමාත්‍යවරයෙක්වත් එම ගම්මානයට ගිහින් නැත්තේ. 2021 ජනවාරි 01 දාට ඉර පායන්නේ විදුලිය නොමැති එකම ගෙයක්වත් නොමැති ශ්‍රී ලංකාවකට කියලා අපි විශ්වාස කරනවා.

අපිට 2019 සිට මෙතෙක් වෙසන් පෝයවල් 03 ක් අහිමි වුණා. බෞද්ධයන් විදියට මේක විශාල අභාග්‍යයක්. කතෝලික ජනතාවටත් ඒ ආකාරයෙන්ම තම ආගම අදහන්න සහභාගි වෙන්න බැරි භයානක තත්ත්වයන්ට මුහුණ දෙන්නට සිදුවුණා. මෙවැනි තත්ත්වයන් යටතේ කිසිදු බේදයකින් තොරව සෞභාග්‍යයේ දැක්ම කරා රට ගෙනයන ගමන්මග එළිය කරන්නට සහාය ලබාදුන් සියලුම පිරිස් වලට අපි රජය වෙනුවෙන් කෘතවේදීත්වය පළකල යුතුයි.

මෙම අවස්ථාවට ප්‍රදේශයේ ජනතා නියෝජිතයන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු ලංකා විදුලිබල මන්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන්ද සහභාගී වූහ.

Read more

Local News