ආහාර නිෂ්පාදනයේ දී වස විසෙන් තොර ආහාර නිෂ්පාදනයට යොමු වන්න

Share

වස විසෙන් තොර ආහාර නිෂ්පාදනය සඳහා කෘෂි රසායනික භාවිතය අවම ගොවිතැන් ක්‍රම, කාබනික ගොවිතැන, සුදුසු කෘෂි භෝග ප්‍රභේද තෝරා ගත යුතු බව ආහාරවල වස විස විශ්ලේෂණය කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රධාන පරීක්ෂක විශේෂඥ වෛද්‍ය ටී.බී.ආනන්ද ජයලාල් මහතා පැවසීය.

ආහාරවල අඩංගු වසවිස පිළිබඳව මෑතකදී කරන ලද පරීක්ෂණයක ප්‍රතිඵලයක් මාධ්‍ය වෙත දැනුම්දීම් සාකච්ඡාවක් අද (18) රජයේ ප්‍රවෘත්ති දෙපාරත්මේන්තුවේ පැවති අතර එහිදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

ඒ අනුව ආහාරවල අඩංගු වසවිස පිළිබඳ මෑතකදී එක්තරා ප්‍රදේශයක සිදු කරන ලද පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස වකුගඩු රෝගීන්ගේ නිවෙස් තුළ ආහාර සාම්පල් බැර ලෝහ සඳහා පරීක්ෂා කළ බව ඒ මහතා පෙන්වා දුන්  අතර එම ආහාරවල ආසනික් නොමැති බව ප්‍රකාශ කළේය.

මෙහිදී සහල් සාම්පල්වල කැඩ්මියම් පවතින බවට කරුණු අනාවරණය වූ බවත් සහල් සහ එළවළු වර්ගවල ඊයම් සැලකිය යුතු මට්ටමක් ඇති අතර එයින් සෞඛ්‍යයට බලපෑමක් සිදු වන බවත් විශේෂඥ වෛද්‍ය අනන්ද ජයලාල් මහතා  පෙන්වා දුන්නේය.

එම ආහාර අනුභව කරන නිවැසියන්ගේ ලේවල ඊයම් මට්ටම පරීක්ෂා කිරීමෙන් 60% ක පමණ ලේවල ඊයම් අඩංගු බව අනාවරණය වූ බවත් එය සෞඛ්‍යයට අහිතරකර බලපෑමක් ඇති කරන බව විශේෂඥ වෛද්‍යවරයා පැවසීය.

මේ සඳහා විශේෂඥ වෛද්‍ය ඉනෝකා සුරවීර මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

 

Read more

Local News