ශ්‍රී ලංකා නාවික හමුදාවේ පළමු අධිතාක්ෂණික ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාව ,සයුරළ, නමින් අධිකාරියට පත්කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ පළමු අධිතාක්ෂණික ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාව ,සයුරළ, නමින් අධිකාරියට පත් කිරීම සන්නද්ධ හමුදා සේනාධිනායක ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (02) පස්වරුවේ කොළඹ වරායේ නැගෙනහිර බහලූම් පර්යන්තයේදී පැවැත්විණි.

ඉන්දියාවේ ගෝවා නැව් තටාකාංගනයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් මෙම නෞකාව නිෂ්පාදනය කෙරුණු අතර මෙහි විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ අවශ්‍යතාවය අනුව විදේශීය නැව් තැනීමේ ආයතනයක් විසින් නිෂ්පාදනය කරන ලද ප්‍රථම නෞකාව මෙය වීමයි.

මෙම නවීනතම නෞකාව පසුගිය ජූලි 28 වන දින කොළඹ වරායට සේන්දු වූ අතර නාවික සම්ප්‍රදායානුකූල චාරිත්‍ර අනුව නාවික හමුදාව විසින් නෞකාව පිළිගන්නා ලදී.

තවද මෙම නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාවේ 67 වසරක ඉතිහාසයේ ප්‍රථම වරට අලූතින්ම මිලදීගත් ප්‍රථම අධි තාක්ණික නෞකාව ලෙස ද සනිටුහන් කෙරේ.
මෙම නවීනතම අධිතාක්ෂණික යුද නෞකාව මගින් ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ මුර සංචාර, සෝදිසි මෙහෙයුම්, මානුෂීය සහන සහ ආපදා ප්‍රතිචාර මෙහෙයුම්, සමුද්‍ර දූෂණ වැළැක්වීමේ මෙහෙයුම් සිදු කිරීමට හැකියාව පවතින අතර බාහිර ගිනි නිවීමේ මෙහෙයුම් සදහා සහාය දැක්වීමේ හැකියාව ද පවතී. සැහැල්ලූ හෙලිකොප්ටර් යානා ගොඩබස්වන අංගනයක් පැවතිම ද විශේෂත්වයකි.
දිගින් මීටර් 105.7 ක් වන මෙම නෞකාවේ පළල මීටර් 13.6 ක් වන අතර මීටර් 05 ක ඉපුලූම් ගැඹුරකි යුත් මෙහි වේග සීමාව පැයට නාවික සැතපුම් 26 කි.


වරාය පරිශ්‍රය වෙත පැමිණි ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවින්ද්‍ර විෙජ්ගුණරත්න මහතා විසින් පිළිගනු ලැබීය.
විශේෂ නාවික හමුදා උත්තමාචාර ද ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.
ජනාධිපතිතුමා විසින් අභිනව නෞකාවේ අණදෙන නිලධාරි, කපිතාන් (මාලිමා) නිශාන්ත අමරෝසා මහතා වෙත නෞකාව අධිකාරියට පත් කිරීමේ සන්නස් පත්‍රය පිළිගැන්වීය.
අනතුරුව සර්ව ආගමික ආශිර්වාද මධ්‍යයේ නෞකාවේ නාම පුවරුව සහ නිල ලාංඡනය නිරාවරණය කිරීම ජනාධිපතිතුමා අතින් සිදු විය.


නෞකාවේ නිරික්ෂණ චාරිකාවකව ද නිරත වූ ජනාධිපතිතුමා නෞකාවේ කි්‍රයාකාරිත්වය, මෙහෙයුම් සුදානම සහ සැකැස්ම පිළිබද අධික්ෂණය කළේය.
අමාත්‍ය මහින්ද සමරසිංහ, රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන යන මහත්වරුන් ද, ඉන්දියාවේ ආරක්ෂක නිෂ්පාදක ලේකම් ඒ.කේ ගුප්තා, ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු, නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විෙජ්ගුණරත්න, ඉන්දියාවේ දකුණු නාවික විධානය භාර ප්‍රධාන ධජ නිලධාරි වයිස් අද්මිරාල් ඒ.ආර්. කාර්ව් යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහ දහම් සිරිසේන මහතා ද මෙම අවස්ථාවට එක්විය.