මහා බැංකු බැදුම්කර සිද්ධියට අදාළව ගොනු කර ඇති චෝදනා 22 ක් අතරින් චෝදනා 11කින්ම හිටපු මුදල් ඇමති රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකු නිදහස් කර තිබෙනවා.
චෝදනා 11න් නිදහස් වූවන් අතරට හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ද ඇතුලත් වනවා.
මෙම නඩුව ඉකුත් දා කැදවනු ලැබූ අවස්ථාවේ දී විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ගාමිණී මාරපන, ජනාධිපති නීතීඥ අනිල් සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත නීතීඥ මණ්ඩලයක් මූලික විරෝධතා මතු කරමින් මෙම නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව පොදු දේපල පනත යටතේ චෝදනා පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බවට තර්ක කළා.
ඒ අනුව මෙම නඩුව විභාග කිරීමට අධිකරණ බලයක් නොමැති හෙයින් විත්තිකරුවන් සියලු දෙනා චෝදනාවලින් නිදහස් කරන ලෙසත්, එම මූලික විරෝධතාව තුළින් විත්තියේ නීතීඥවරුන් අධිකරණයෙන් ඉල්ලා තිබුණා.
එම මූලික විරෝධතා සම්බන්ධයෙන් ඊයේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා ප්‍රකාශ කළේ විත්තිකරුවන්ට එල්ල කර ඇති චෝදනාවලින් චෝදනා 11 ක් පවත්වාගෙන යාමට නොහැකි බවයි.
ඒ අනුව එම චෝදනා 11කින් සියලු විත්තිකරුවන් නිදහස් කරන බව ද විනිසුරුවරයා සඳහන් කළා.
2016 වසරේ මාර්තු මස 31 වනදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිඳු කළ බැදුම්කර වෙන්දේසියක දී රුපියල් බිලියන 15ක් වටිනා බැදුම්කර සම්බන්ධයෙන් සාපරාදී විශ්වාසය කඩ කළේ යැයි චෝදනා කරමින් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පචුවෙල් ට්රෙෂෙරීස් සමාගම, එහි අධ්‍යක්ෂකවරුන් වන අර්ජුන් ඇලෝසියස්, ජෙප්රි ඇලෝසියස්, කසුන් පලිසේන, ඇතුලු විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පොදු දේපල පනත යටතේ මෙම නඩුව ගොනු කර තිබෙනවා.
ඒ අනුව මෙම සියලුම විත්තිකරුවන්ට එල්ල කර ඇති චෝදනා 22ක් අතුරින් චෝදනා 11කින් වික්තිකරුවන් නිදහස් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහ අධිකරණ විනිසුරු මඩුල්ල නියම කරා.
අමල් රණ රාජා, නාමල් බලල්ලේ සහ ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහා අධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබා දුන්නා.
තීන්දුව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් ප්‍රියන්ත නාවාන සඳහන් කළේ පැමිණිල්ල විසින් ගොනුකර තිබූ චෝදනා 22ක් අතුරින් චෝදනා 11කින් විත්තිකරුවන් නිදහස් කිරීමට අධිකරණය තීරණය කර ඇති බවයි.
මහ බැංකු බැදුම්කර සම්බන්ධයෙන් අධිකරණය හමුවේ නඩු පැවරුණු ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව මෙය බවත් මෙය අත්හදාබැලීමක් බවත් මෙහි දී අතිරේක
සොලිස්ටර් ජනරාල්වරයා සඳහන් කරා.
ඒ අනුව විත්තිකරුවන්ට එරෙහිව ගොනුකර තිබෙන චෝදනා පත්‍රය සංශෝධනය කරනවා ද? ඉවත් කර ගන්නවා ද? එසේත් නැතිනම් විකල්ප නීතිමය ක්‍රියාමාර්ගයක් අනුගමනය කරනවාද? යන්න තීරණය කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙස අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
මෙහි දී හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුව සම්පූර්ණයෙන්ම ගොඩනැගී ඇත්තේ එහි පළමු වන චෝදනාව මත බව පෙන්වා දුන්නා.
එම පළමුවන චෝදනාවෙන් විත්තිකරුවන් සියලු දෙනා නිදහස් කිරීමට අධිකරණය දැනටමත් තීරණය කර ඇති හෙයින් විත්තිකරුවන්ට එරෙහි සෙසු චෝදනා ද පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බවයි ජනාධිපති නීතීඥ ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ පෙන්වා දුන්නේ.
ඒ අනුව මෙම නඩුව සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියා මාර්ගය තීරණය කිරීම සඳහා එය ජනවාරි මස 26 වනදා කැඳවීමට අධිකරණය නියම කළා.



