ආරක්ෂක ලේකම් මිහින්තලේ අනුලා දේවී චෛත්‍යයේ නටබුන් නිරීක්ෂණය කරයි

Share

ආරක්‍ෂක ලේකම් සහ නැගෙනහිර පළාතේ ‘පුරාවිද්‍යා උරුම කළමනාකරණ ජනාධිපති කාර්ය සාධක බළකායේ’ සභාපති ජෙනරල් කමල් ගුණරත්න මහතා ඊයේ (ජනවාරි 23) අනුරාධපුරයේ පූජනීය සිද්ධස්ථාන කිහිපයක සංචාරයන් අතරතුර මිහින්තලාවේ මිහිඳු මහා සෑය වෙත පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත පවරා ඇති මිහිඳු මහා සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතුවල ප්‍රගතිය ජෙනරල් ගුණරත්න විසින් සමාලෝචනය කර තිබෙනවා.

එසේම ඉදිරියට ඇති ඉදිකිරීම්වලට අදාළ වැඩකටයුතු පිළිබඳව ද සොයා බලමින් එම කටයුතු කඩිනම් කරන ලෙසද ආරක්‍ෂක ලේකම්වරයා උපදෙස් දී තිබෙනවා.

ඓතිහාසික මිහින්තලා පුදබිමේ මිහිඳු මහා සෑය, මිහිඳු ලෙන් සෙනසුන සහ බුද්ධ මන්දිරය ප්‍රතිසංස්කරණය කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ආරම්භ කෙරුණා.

අනුරාධපුර සඳහිරුසෑය හා මිහින්තලේ අනුලා දේවී චෛත්‍යයේ නටබුන්ද මෙම සංචාරයේ දී ආරක්‍ෂක ලේකම්වරයාගේ නිරීක්‍ෂණයට ලක් වුණා.

මිහින්තලා රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධර්මරත්න හිමි, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් රංජන් ළමාහේවගේ (විශ්‍රාමික) යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

Read more

Local News