බඩල්ගම පොලිස් වසමේ ආඬිමුල්ල ප්‍රදේශයේ නිවසකින් සැක සහිත දුර්ගන්ධයක් හමන බවට පොලීසියෙන් ලද පැමිණිල්ලක් මත එම නිවස පරීක්ෂා කිරීමේ දී අදාල නිවසේ කාමරයක් තුළ ඇඳක් මත වයස අවුරුදු 10 ක පමණ පිරිමි දරුවෙක් මියගොස් සිටියදී පොලීසිය විසින් සොයාගෙන ඇත.
අදාල දරුවා පසුගිය 7 වන දින උදෑසන උගුරේ සෙම සිරවීමක් නිසා අසනීප වී ඇති බවත්, පසුව අසනීපය සුව කර ගැනීම සඳහා ඔහුගේ දෙමාපියන් විසින් ඔවුන් අදහන ආගමට අනුව යාඥා කිරීම සිදු කර තිබෙන බවද පොලීසිය සඳහන් කරයි.
යාඥාව සිදුකරන අතරතුර දරුවා මිය ගොස් ඇති බවයි අනාවරණය වන්නේ.
දරුවාගේ ප්‍රාණය ලබා ගැනීම සඳහා දෙමාපියන් විසින් නොකඩවා යාඥා කටයුතු සිදුකර ඇති බව වාර්තා වේ. කිසිදු අවස්ථාවක වෛද්‍ය ප්‍රතිකාර සඳහා දරුවා යොමු කිරීමට කටයුතු කර නොමැති බව පොලිසිය පවසයි.
ඒ අනුව දරුවාගේ මව, පියා සහ නිවසේ සිටි මිත්තණිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිදුවීම සම්බන්ධයෙන් මිගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කොට පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇත.



