සංචාරකයන් ප්‍රවාහනය කරනු ලබන බස්රථවලට ලංගම ඩිපෝ මගින් ඉන්ධන

Share

හදිසි අවශ්‍යතාවයක් සේ සළකා සංචාරකයන් ප්‍රවාහනය කරනු ලබන බස්රථ සදහා ශ්‍රී ලංගම ඩිපෝ මගින් ඉන්ධන ලබා දෙන්න යැයි බස් රථ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශය ශ්‍රී ලංගම සභාපතිවරයාට දැනුම් දී ඇත.

සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා කළ ඉල්ලීමකට අනුව වාහන නියාමන, බස්රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්.ඩි.එල්.කේ ද අල්විස් මහතා මෙම දැනුම් දීම කර තිබේ.

දැනට අතරමංව ඇති හෝ යම් අපහසුතාවයකට පත්ව ඇති සංචාරක බස්රථ සදහා ඩිපෝ මගින් ඉන්ධන ලබා දෙන ලෙසත් මෙම බස්රථ සැබෑ ලෙසම විදේශිකයන් රැගෙන ගමනේ යෙදෙන බස්රථ විය යුතු බවත් අදාළ ලිපියේ වැඩිදුරටත් සදහන් වේ.

මීතොටමුල්ල, ජා-ඇල, අනුරාධපුරය, මහනුවර, දඹුල්ල, නුවරඑළිය හා හම්බන්තොට යන බස් රථ ඩිපෝ මගින් මෙම ඉන්ධන ලබාගැනීමේ පහසුව සංචාරක බස්රථවලට ලබාදෙන ලෙස ද රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ලංගම සභාපතිවරයාට යැවු ලිපිය මගින් උපදෙස් දී ඇත.

අදාළ බස්රථවලට ඉන්ධන ලබාදීමේදි ඒ මොහොතේදී ම අදාළ මුදල් ලබාගන්නා ලෙස ද ලිපිය මගින් වැඩිදුරටත් උපදෙස් දි තිබේ.

Read more

Local News