ඉන්දියාවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත පාවෙන තාඨාකාංගනයක්

Share

ශ්‍රී ලංකා නාවික හමුදාවේ දිගුකාලීන අවශ්‍යතාවයක්ව පැවති පාවෙන තටාකාංගන පහසුකමක (Floating Dock) අවශ්‍යතාවය සපුරමින්, ඉන්දීයාව වෙතින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ප්‍රදානය කරන ලද පාවෙන තටාකාංගනය, ඉන්දියාවේ ගෝව නැව් තටාකාංගන සමාගම වෙතින් ලබා ගැනීම සඳහා ගිවිසුම් ගත වීම මාර්තු මස 22 වන දින සිදු කෙරුණු අතර, ඉදිරි මාස 30ක කාලසීමාව තුළ මෙම පාවෙන තටාකාංගනය ත්‍රිකුණාමලය නාවික තටාකාංගනයේ ස්තාපිත කිරීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නෞකා සහ යාත්‍රා උපරිම කාර්යක්‍ෂමතාවයෙන් යුතුව පවත්වාගෙන යාම සඳහා එම නෞකා සහ යාත්‍රාවන්ගේ දියයට නඩත්තු සහ අළුත්වැඩියා කිරීමේ චර්යාවන් වාර්ෂිකව සිදු කිරීම අත්‍යාවශ්‍ය වන අතර, එමඟින් නෞකා සහ යාත්‍රා භාවිතා කිරීමේ කාල සීමාව වැඩි කර ගැනීමට හැකියාව ලැබේ.

දැනට නාවික හමුදාව සතුව පවත්නා වියලි තටාක පහසුකම් මඟින් ටොන් 350ට වඩා අඩු බරකින් යුත් යාත්‍රාවන්ගේ දියයට අළුත්වැඩියා කටයුතු සහ සේවාවන් පමණක් සිදු කිරීමේ හැකියාව පවතී. විශාල ප්‍රමාණයේ නෞකාවන්ගේ දියයට අළුත්වැඩියා කටයුතු සහ සේවාවන් පෞද්ගලික නැව් තටාකාංගන වෙතින් ලබා ගැනීමට එම පොරොත්තු ලේඛණයන්ගේ දිගු කාලයක් රැදී සිටීමෙන් නාවික හමුදා නෞකා සහ යාත්‍රා නඩත්තුව සහ අලුත්වැඩියාව සඳහා සැළකිය යුතු ප්‍රමාදයන් සිදුවන අතර, නෞකා සහ යාත්‍රාවන්හි ආයු කාලයටද එය සැළකිය යුතු බලපෑමක් එල්ල කරනු ලබයි.

මෙම ගැටළුව නිරාකරණය කර ගැනීම සඳහා 2015 වසරේ සිට 2017 වර්ෂය දක්වා අසල්වැසි මිත්‍ර නාවික හමුදාවන් සමඟ සිදුකරන ලද සාකච්ඡා සහ අධ්‍යනයන්ගෙන් පසු ශ්‍රී ලංකා නාවික හමුදාවට පාවෙන තටාකාංගණයක් ලබා ගැනීමට සුදුසු බවට නිර්දේශ විය.

ඇමරිකානු ඩොලර් මිලියන 20කට ආසන්න වටිනාකමින් යුතු මෙම පාවෙන නැව් තටාකාංගණය නාවික හමුදාවට ප්‍රදානයක් ලෙස ලබා ගැනීමෙන් අනතුරුව, නාවික හමුදාවේ විශාල ප්‍රමාණයේ නෞකාවන්ගේ දියයට නඩත්තු සහ සේවාවන් වෙනුවෙන් වාර්ෂිකව වැය වූ රුපියල් මිලියන 600ක පමණ විශාල මුදල් ප්‍රමාණයක් නාවික හමුදාවට ඉතිරි කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

Read more

Local News