අලුත් අවුරුද්දට විශේෂිත ප්‍රවාහන සැලසුමක්

Share

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල සිට අපහසුතාවකින් තොරව සිංහල හා හින්දු අලුත් අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව පිණිස පොදු බස් සේවාවක් යෙදවීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව සැලසුම් කර තිබෙනවා.

ඒ යටතේ දවසේ පැය 24 පුරාම විශේෂ මෙහෙයුම් මැදිරියක් මෙම කාලය තුල ක්‍රියාත්මක කිරීම, බස් සේවාවේ ගුණාත්මකභාවය පවත්වා ගැනීම පිණිස ජංගම නිරීක්ෂණ නිලධාරීන් සේවයේ යොදවනු ලැබීම, අලුත් අවුරුදු සමයේ බස්රථ වල ඇතිවන තදබදය අඩු කරගැනීමට බස් සංචිතයක් පවත්වා ගැනීම සිදු කරන බව සඳහන් වනවා.

අලුත් අවුරුදු මගී ප්‍රවාහන සේවාවේ අදියර දෙකකින් ක්‍රියාත්මක වනවා. ඉන් පළමු අදියර 2022 අප්‍රේල් 08 සිට 15 දක්වායි.

කොළඹ බැස්ටියන් මාවත ප්‍රධාන බස් පර්යන්තයේ බස් සේවා සඳහා ඉල්ලුම වැඩි වුවහොත්, බස් හිමියන් වෙත නොමිලයේ තාවකාලික මගී සේවා අවසරපත්‍ර නිකුත් කරනු ලබන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

මගීන්ගේ ආරක්ෂාව, ආහාරපාන හා සනීපාරක්ෂාව ඇතුලු පොදු පහසුකම් නොඅඩුව සලසන අතර කඩවත,කඩුවෙල බස් පර්යන්තයන්වල හා මා කුඹුර බහුවිධ හුවමාරු මධ්‍යස්ථානයේ ද මෙම කාල සිමාව තුළ සේවා සහ පහසුකම් සපයනු ලබනවා.

දෙවන අදියර යටතේ නැවත කොළඹ හා තදාසන්න ප්‍රදේශ වලට පැමිණීමේදී ගාල්ල, මාතර, ඇඹිලිපිටිය, මොණරාගල, බදුල්ල, හැටන්, මහනුවර හා නුවර එළිය බස් පර්යන්ත වල මගී ඉල්ලුමට සරිලන පරිදි තාවකාලික බලපත්‍ර මත බස් සේවා යෙදවීමට සැලසුම් කර තිබේ.

Read more

Local News