විදුලි බලාගාර ආශ්‍රිත ජලාශයන්හි ජල මට්ටම ඉතාමත් පහළ මට්ටමක

Share

ලංකා විදුලිබල මණ්ඩලයට අයත් ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශයන්හි ජල මට්ටම මේ වනවිට ඉතාමත් අවම මට්ටමක පැවතීම හේතුවෙන්, ජල විදුලි උත්පාදනයට තවදුරටත් බාධා පැමිණෙනු ඇතැයි විදුලිබල අමාත්‍යාංශය අවධාරණය කරනවා.

මේවනවිට දිවයිනටම බලපා තිබෙන දැඩි වියළි කාලගුණික තත්ත්වයන් මත විදුලිබලය උත්පාදනය සදහා යොදාගනු ලබන ජලාශයන්හි ජල මට්ටම මේ වනවිටත් සීඝ්‍රයෙන් පහත බසිමින් පවතිනවා.

කාසල්රි ජලාශය ;

ඒ අනුව කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට මීටර් 15.34 දක්වා පහළ බැස ඇති අතර උපරිම වශයෙන් ජල මට්ටම අඩු කළ හැක්කේ පිටාර මට්ටමේ සිට මීටර් 19.0 වනතෙක් පමණයි.

මෙම ඉතිරිව ඇති ජල පරිමාවෙන් ජනනය කළ හැකි විදුලි ඒකක ප්‍රමාණය ගිගා වොට් පැය 07.3ක් වන අතර එය කාසල්රි ජලාශයේ සමස්ත ධාරිතාවයෙන් 07.7% ක්.

මාඋස්සාකැලේ ජලාශය :

මාඋස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට මීටර් 13.69 දක්වා පහත බැස ඇති අතර උපරිම වශයෙන් ජල මට්ටම අඩුකළ හැක්කේ පිටාර මට්ටමේ සිට මීටර් 22.4 වනතෙක් පමණයි.

ඒ අනුව මා උස්සාකැලේ ජලාශයේ ජල පරිමාවෙන් විදුලිය ජනනය කළ හැක්කේ විදුලි ඒකක ගිගාවොට් පැය 77.7 වන අතර එය සමස්ත ධාරිතාවයෙන් 27.4%ක්.

සමනල වැව ජලාශය :

සමනල වැව ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට මීටර් 25.20 දක්වා පහත බැස ඇති අතර ජලාශයේ උපරිම වශයෙන් ජල මට්ටම අඩුකළ හැක්කේ පිටාර මට්ටමේ සිට මීටර් 31 වනතෙක් පමණයි.

ඒ අනුව සමනල වැව ජලාශයේ ජල පරිමාවෙන් විදුලිය ජනනය කළහැක්කේ විදුලි ඒකක ගිගාවොට් පැය 15.2ක් වන අතර එය සමස්ත ධාරිතාවයෙන් 11.4% ක්.

එමෙන්ම විදුලිබල උත්පාදනය කිරීම සදහා මහවැලි සංකීර්ණයට අයත් ප්‍රධාන ජලාශවල මේ වන විට පවතින ජලමට්ටම පහතින්,

කොත්මලේ ජලාශය :

කොත්මලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට මීටර් 24.97 දක්වා පහත බැස ඇති අතර ජලාශයේ උපරිම වශයෙන් ජල මට්ටම අඩුකළ හැක්කේ පිටාර මට්ටමේ සිට මීටර් 38 වන තෙක් පමණයි.

ඒ අනුව කොත්මලේ ජලාශයේ ජල පරිමාවෙන් විදුලිය ජනනය කළ හැක්කේ විදුලි ඒකක ගිගාවොට් පැය 29.0 වන අතර එය සමස්ත ධාරිතාවයෙන් 20.3% ක්.

වික්ටෝරියා ජලාශය :

වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම පිටාර මටට්මේ සිට මිටර් 27.49 දක්වා පහත බැස ඇති අතර ජලාශයේ උපරිම වශයෙන් ජල මට්ටම අඩුකල හැක්කේ පිටාර මට්ටමේ සිට මීටර් 68 වන තෙක් පමණයි.

ඒ අනුව වික්ටෝරියා ජලාශයේ ජල පරිමාවෙන් විදුලිය ජනනය කළහැක්කේ විදුලි ඒකක ගිගාවොට් පැය 133.3 වන අතර එය සමස්ත ධාරිතාවයෙන් 30.1ක්.

මෙම මහවැලි ජලාශවලින් රටේ පානිය ජල අවශ්‍යතාවය සහ කෘෂිකාර්මික කටයුතුවලටද ප්‍රමුඛතාවයකින් ජලය මුදාහැරීම සිදුකළ යුතු බැවින් ඉහත ජලාශවලින් ජල විදුලි බලය ජනනය කිරීම සදහා ජලය මුදා හැරීමද සීමා කළ යුතුව තිබෙනවා.

එබැවින් විදුලිය අරපිරිමැස්මෙන් පරිහරණය කරන මෙන් විදුලිබල අමාත්‍යාංශය ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

Read more

Local News