මහින්ද ඇතුළු 17කට විදෙස් ගමන් තහනම්

Share

ගාලුමුවදොර ගෝටාගෝගම සහ අරලිය ගහ මන්දිරය අසළ මයිනාගෝගම යන අරගල භූමිවලට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව හිටපු අගමැති මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ජොන්සටන් ප්‍රනාන්දු ඇතුළු 17කුගේ විදෙස් ගමන් තහනම් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජෙනරාල් අයේෂා ජිනසේන කරන ලද ඉල්ලීමක් පිළිගත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසිනුයි මෙම නියෝගය නිකුත්කර තිබෙන්නේ.

ඒ අනුව හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, නාමල් රාජපක්ෂ, සංජීව එදිරිමාන්න, කාංචන ජයරත්න, රෝහිත අබේගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි, සී බී රත්නායක, සම්පත් අතුකෝරාල, රේණුක පෙරේරා, සනත් නිශාන්ත, මහින්ද කහ​ඳගම, ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන අය මෙසේ විදේශ ගමන් තහනම් කෙරුණු පිරිසට ඇතුළත් වනවා.

මෙම සිද්ධිය ඇසින් දුටු බව කියන සාක්ෂිකරුවන් හත්දෙනෙකුගේ විදේශ ගමන් ​ද තහනම් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

Read more

Local News