ශ්‍රී ලංකාව තවත් වාර්තාවක් අභියස

Share

ආහාර උද්ධමනය අතින් ශ්‍රී ලංකාව ලොව පස්වන ස්ථානයට පත්වී තිබෙනවා. ලෝක බැංකුව මෙය වාර්තා කර තිබුණා. ලෝක බැංකුවේ වාර්තාවලට අනුව ඉහළ ආහාර උද්ධමනයක් ඇති පළමු රට ලෙබනනයයි. දෙවන ස්ථානය සිම්බාබ්වේ පසුවන අතර, තුන්වන ස්ථානයේ පසුවන්නේ වෙනිසියුලාවයි. හතරවන ස්ථානයේ පසුවන්නේ තුර්කියයි.

දැඩි ආහාර අර්බුදයක් තිබුණු ඉතියෝපියාව මේ වන විට පසුවන්නේ නව වන ස්ථානයේයි. ඇත්තටම දැන් අපේ රටේ භාණ්ඩවල සහ සේවාවන්හි මිල අහස උසට ගිහින්.

අත්‍යවශ්‍ය සෑම භාණ්ඩයකම මිල හරි ඉහළයි. දිනෙන් දින මිල ගණන් ඉහළ යනවා. මේක අපේ රටේ පුංචි මනුස්සයාට දරාගන්න හරිම අමාරුයි. ශ්‍රී ලංකාව මුහුණ දී ඇති මේ පෙර නොවූ විරූ ආර්ථික අර්බුදය ගැන දැඩි කනස්සල්ලට පත්වන බව ඇමරිකානු කොංග්‍රස් මණ්ඩල සභිකයින් දස දෙනෙකු ලිපියක් යොමු කරමින් සඳහන් කර තිබුණා.

අමෙරිකාවේ රාජ්‍ය ලේකම් ඇන්තනී ජේ බ්ලින්කන් සහ පරිපාලක සමන්තා පවර් වෙත ලිපියක් යොමු කරමිනුයි ඔවුන් මේ බව සඳහන් කර ඇත්තේ. එම ලිපියේ දැක්වෙන්නේ ලංකාව තුළ ආහාර, ඉන්ධන සහ ඖෂධ හිඟය උග්‍රව පවතින බවයි.

ගණනය කිරීම් වලට අනුව ශ්‍රී ලාංකිකයින්ගෙන් 60%කට ආසන්න ප්‍රමාණයක් අවශ්‍යතා සපුරා ගන්නට එක් ආහාර වේලක් මගහරින බවත්, ඔවුන් මෙම ලිපියේ සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ නිවාස දහයකින් තුනක්, එක් වේලකට පසුව, මීළඟ ආහාර වේල ලබා ගන්නේ කෙසේද යන ගැටලුවට, මුහුණ දෙමින් ඇති බවයි, ඔවුන් පෙන්වා දෙන්නේ. මේ ගැටලුව විසඳීමට වහා පියවර ගන්නා ලෙසත්, එක්සත් ජනපද නියෝජිත ආයතනයෙන් මොවුන් ඉල්ලීමක් සිදුකර තිබෙනවා. මේ අතර ජූලි මාසයේ මෙරට ජාතික උද්ධමනය 66.7% දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එහිදී ආහාර උද්ධමනයේ අගය වාර්තා වී ඇත්තේ 82.5% ක් ලෙසයි. වාර්ෂික උද්ධමනය මෙලෙස ඉහළ යාමට ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකම අයිතමවල මිල ගණන්වල සිදු වූ මාසික ඉහළ යාම හේතු වී තිබෙනවා.

Read more

Local News