මන්දපෝෂණය, ඌණපෝෂණය සහ දුෂ්පෝෂණ කතාවල ඇත්ත

අපේ රට දැන් මන්දපෝෂණයෙන් පෙළෙන බව රහසක් නෙවෙයි. ලෝකයේ ගොඩක් රටවල් අපිට ආධාර දෙන්නෙත් අපි බංකොලොත් රටක් බව දැනගෙනමයි.

රජයක් ලෙස ගන්නා සමහර වැරදි තීන්දු නිසා අපේ රටේ දරුවන්ගේ අනාගත ජීවිතය අඳුරුවන්නට ඇති ඉඩ බොහෝයි. නිසි පෝෂණයෙන් තොර දරුවන් මුහුණ දෙන භයානකම සාධකය වන්නේ බුද්ධි හීනතාවයයි. එබැවින් මන්ද පෝෂණය නැත්නම් ඌණ පෝෂණයක් ඇති බව පිළිගෙන මීට විසඳුම් ලබාගත යුතුයි.

අද වන විට දරුවන් ලක්ෂ 11 කට ලැබිය යුතු දිවා ආහාරය තවමත් ලැබෙන්නේ නැහැ. දැන් බොහෝ පාසල්වල ගුරුවරුන් සේම ඇති හැකි අයද තමන්ට පුළුවන් ආකාරයට දරුවන්ගේ කුසගින්න නිවන්න දායක වනවා.

එවැනි පුවත් අප ඔබට පසුගිය දින කිහිපයේදීම වාර්තා කළා. අදත් එවැනිම පුවතක් අපට වාර්තා වුණේ අම්බලන්ගොඩ ප්‍රදේශයෙන්. අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලයේ ආදී ශිෂ්‍යයකු වන ධීවර ව්‍යාපාරික ආර්. පී. අශෝක විසින් අද සිට දිවා ආහාරය රැගෙන නොයන පාසල් ළමුන්ට දිවා ආහාරය ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කළා.