කජීමාවත්තට ජනපතිගෙන් සහන

Share

කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාදම්පිටිය ග්‍රාමසේවා වසමේ කජීමාවත්ත නිවාස සමූහයේ (27) රාත්‍රියේ ඇති වූ ගින්නෙන් අවතැන්වූවන්ට සහන සැලසීම සහ ඔවුන් වෙනුවෙන් වූ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමක් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) පෙරවරුවේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

එහිදී අනාවරණය වූ පරිදි මෙම ගින්න හේතුවෙන් නිවාස 71ක පුද්ගලයින් 306 දෙනෙකු අවතැන්ව සිටී. නිවාස 60ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, තවත් නිවාස 11කට අර්ධ හානි සිදුව ඇත. අවතැන් වූ පුද්ගලයන් 306න් 200ක් වැඩිහිටියන් වන අතර ළමුන් සංඛ්‍යාව 106කි. මේ වන විට අවතැන් වූ පිරිස් මෝදර උයන ප්‍රජා ශාලාවේ සහ කැලණි නදී විහාරස්ථානයේ පහසුකම් සහිතව රඳවා තැබීමට කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය කටයුතු යොදා ඇත.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, කොළඹ මහ නගර සභාව, මාදම්පිටිය ග්‍රාම නිලධාරී බල ප්‍රදේශයභාර පොලිසිය, ත්‍රිවිධ හමුදාවේ මැදිහත්වීම හා සහයෝගය මත අවතැන් වූ පිරිස් සඳහා ආහාර පාන ඇතුළු මූලික පහසුකම් අඛණ්ඩව ලබා දීම සිදු කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

එම පවුල්වලට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සහ වියළි ආහාර සළාක පිරිනැමීමට කටයුතු කළ බව ද කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මෙම සාකච්ඡාවේ දී සඳහන් කළේය.

ගැබිණි මව්වරුන් හා කාන්තාවන්ගේ සියලු සෞඛ්‍ය පහසුකම් සැලසීමටත්, පිසූ ආහාර අඛණ්ඩව සැපයීම සහ තාවකාලික නවාතැන්පළවල අත්‍යාවශ්‍ය සියලු මූලික පහසුකම් සැලසීමටත් තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Read more

Local News