මිනුවන්ගොඩ ගමන් ගෙදර ප්‍රදේශයේදී පියා සහ පුතුන් දෙදෙනා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සරුංගල සිද්ධියකට අදාළව ඇතිවූ ගැටුමක් දුරදිග යාමෙන් මෙම ඝාතන රැල්ල සිදුවී ඇති බවටයි අනාවරණය වී ඇත්තේ. ඊට අදාළව ඊයේ දිනයේදී වයස අවුරුදු පනස් එකක් වූ පියා සහ විසිතුන හා විසි හතර යන වයස්වල පසුවූ පුතුන් දෙදෙනාත් කිසියම් පිරිසක් විසින් ඝාතනය කර තිබුණා. මෙම ඝාතනයන්ට අදාළව තවත් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් දෙදෙනෙකු අඹුසැමියන් වනවා.
ඔවුන් අත්අඩංගුවට පත්ව ඇත්තේ දිවුලපිටිය බඩල්ගම ප්‍රදේශයේදී. ඒ මෙම ඝාතනයට ආධාර අනුබල දීමේ චෝදනාව යටතේ. එසේ ම මෙම ඝාතනයට අදාළව තවත් සැකකරුවෙකු ගලේවෙල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මෙම සිදුවීමට අදාළව මීට පෙර අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදුකල දීර්ඝ ප්‍රශ්න කිරීම් මතයි. මේ වන විටත් මෙම ඝාතනයට අදාළ පුද්ගලයින් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ. මේ අතර මෙම ඝාතනය විදේශගතව සිටින පුද්ගලයෙකු මෙහෙයවා ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ.
මේ පිළිබඳව තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.



