හය දෙනෙකුගෙන් සමන්විත නාවික හමුදා කණ්ඩායම මෙහෙයුමක් සඳහා දකුණු මුහුදු තීරයට ගොස් ඇත්තේ ඉකුත් සැප්තැම්බර් මස දහසය වනදායි. ඊට පසු දින සිට ඔවුන්ගේ සන්නිවේදන සම්බන්ධතා බිඳ වැටී ඇති බවයි නාවික හමුදාව ප්‍රකාශ කරන්නේ. මෙලෙස අතුරුදන් වී ඇත්තේ සුළු නිලධාරීන් අයි. ජේ. ජේ. එස්. ගුණරත්න නායක නැවියන් වූ එම් ආර් වර්ණකුලසුරිය, එම්. ජී. වී. පී. කාරියවසම්, නාවික ඉංජිනේරු කාර්මික ඩබ්ලිව් එස් එල් මධුෂාන්, බලණැවියන් වන, කේ එච් එච් එම් කරුණාරත්න, ඒ.පී. සී. කුමාර යන නාවික භටයින් හය දෙනායි.
නාවික හමුදාව එම මුහුදු ප්‍රදේශයේ සෝදිසියට ලක් කලද මෙම පිරිස හෝ යාත්‍රා මෙතෙක් හමුවී නැති බවයි ප්‍රකාශ කරන්නේ. ඔවුන් කිසියම් හෝ අනතුරකට ලක් වී යාත්‍රාව ගිලී ගියේද? නැතහොත් වෙනත් රටකට පලා ගියේද යන්න සම්බන්ධයෙන් සැකයක් පවතින බවයි නාවික ආරංචි මාර්ග ප්‍රකාශ කරන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා පවසන්නේ සන්නිවේදන ඇනහිටීම හේතුවෙන් මෙම යාත්‍රාව අතුරුදහන් වූයේ කුමන ප්‍රාදේශයේද යන්න මෙතෙක් නිශ්චිත වශයෙන් තහවුරු වී නොමැති බවයි.
ඔවුන් සොයා නාවික හමුදාව තවදුරටත් සෝදිසි මෙහෙයුම්වල නිරත වනවා. ඊට විදේශයන්ගේද සහය ලබා ගන්නා බවයි අප කළ විමසීමකදී නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.



