රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර අදට දින 238 යි

Share

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කොට මේ ගෙවෙන්නේ 238 වන දිනයයි.

මේ වන විට යුක්‍රේනයේ ප්‍රදේශ කිහිපයකට විදුලිය ඇණහිට තිබෙනවා. ඒ රුසියාව පසුගියදා එල්ල කළ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙනුයි.

සමස්තයක් ලෙස මේ වනවිට යුක්‍රේනයේ විදුලි බල පද්ධතියෙන් 30% ක් විනාශ වී අවසන් බවයි වාර්තා වන්නේ. මේ නිසා විදුලිය විසන්ධි වී ඇති නගර වල ජංගම විදුලිබල පද්ධති ඉදි කරන බව යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි පවසා තිබෙනවා.

හෙට සිට යුක්‍රේනය පුරා විදුලිය සීමා කරන බවයි ඔහු පැවසුවේ. ඒ අනුව පෙරවරු 7 සිට රාත්‍රී 11 දක්වා විදුලිය භාවිතය අවම කරන ලෙස සෙලෙන්ස්කිගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු ඉල්ලා තිබෙනවා.

එසේම බලශක්ති පද්ධතිය බිඳ වැටීමේදී ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව ද ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ සාකච්ඡා කළ බවයි සෙලෙන්ස්කි පැවසුවේ. තම සතුරා වන රුසියාව කුමක් සැලසුම් කළ ද යුක්‍රේනය ආරක්ෂා වනු ඇති බව සෙලෙන්ස්කි වැඩිදුරටත් පැවසුවා.

මේ අතර යුක්‍රේනයේ බර්ෂ්ටින් (Burshtyn) නගරයේ තාප බලාගාරයකට රුසියාව ඊයේ මිසයිල ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා. මේ හේතුවෙන් ගින්නක් ඇති වූ බවයි වාර්තා වන්නේ.

ප්‍රහාරයෙන් කිසිවෙකුටත් හානි සිදු වූයේ නැති බව ද වාර්තා වනවා.

එසේම ඊයෙත් යුක්‍රේනයේ කියෙව් නගරයේ පිපිරීම් කිහිපයක් සිදුව තිබෙනවා. කියෙව්හි නගරාධිපති විටාලි ක්ලිටිස්කෝ පවසන්නේ රුසියාව මිසයිල සහ රොකට් ප්‍රහාර එල්ල කර ඇති බවයි.

ගීක විදේශ ඇමති නිකොස් ඩෙන්ටියාස් කියෙව්හි සංචාරයක නිරත වී තිබෙනවා. එහි දී ඔහු බෝම්බ ගබඩාවක් සහ විනාශ වූ රුසියානු හමුදා වාහන නැරඹීමට ගිය බවයි වාර්තා වන්නේ.

මේ අතර පසුගියදා යුක්රේනයෙන් හමුවූ ඉරාන ඩ්‍රෝන යානා පරික්ෂා කිරීම සඳහා විශේෂඥයින් යවන බවට බටහිර රටවල් ප්‍රකාශ කළා. එසේ යැවුවහොත් එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග ඇති සහයෝගීතාවය බිඳ වැටිය හැකි බවයි රුසියාව පවසා ඇත්තේ.

කෙසේ නමුත් ඩ්‍රෝන යානාවලට අමතරව රුසියාවට ගුවන් මිසයිල ද ලබාදෙන බවට ඉරානය පොරොන්දු වූ බව මැද නිලධාරීන් පවසා තිබෙනවා.

Read more

Local News