කුෂාන් ගුවන්තොටුපොළේ දී CID අත්අඩංගුවට

මැදපෙරදිග මිනිස් ජාවාරම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ඕමාන ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන්වන ලේකම් ඊ කුෂාන් නැමැත්තා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තා.

ඒ ඔහු ඕමානයේ මස්කට් නුවර සිට සලාම් එයාර් ගුවන් සේවයට අයත් ඕ. වී හාරසිය තිස් හත දරණ ගුවන් යානයෙන් දිවයිනට පැමිණීමෙන් අනතුරුවයි.

මොහු අද අලුයම තුනයි පනස් හතට පමණ දිවයිනට පැමිණියා.

ඕමානයේ ගෘහ සේවයට ගොස් සිටින කාන්තාවන්ට ලිංගික අඩත්තේට්ටම් කිරීම, ඒ සඳහා බලපෑම් කිරීම, ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් අලෙවි කිරීම ඇතුළු චෝදනා කිහිපයක් මොහුට එල්ල වී තිබෙනවා.

ඒ අනුව මොහුගේ වැඩ තහනම් කිරීමටද බලධාරීන් කටයුතු කළා. චෝදනා එල්ල වී සිටින ඊ කුෂාන් නැමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ විවෘත වරෙන්තුවක්ද ලබාගෙන තිබුණා.

මෙම ජාවාරමට සම්බන්ධ කිහිපදෙනෙකු මේ වන විටත් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටිනවා.

මේ අතර ඕමානයේ රැඳී සිට අසාධාරණයට ලක්වූ කාන්තාවන් පිරිසක්ද අද දිවයිනට පැමිණියා.

Previous articleචීන සහල් තොගය ගොඩබෑමේ කටයුතු අවසන් වෙයි
Next articleලොව විශාලතම සක්‍රීය ගිනි කන්ද පුපුරා යයි