කැනඩා රැකියා පෙන්වා මුදල් වංචා කළ ජාවාරමක් හෙළිවේ

Share

කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකළ පුද්ගලයෙකු (01 දින) ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන අංශයේ නිළධාරීන්ගේ භාරයට ගෙන අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කටයුතු කර ඇත.

කැනඩාවේ රැකියා හා පදිංචි වීසා ලබාදෙන බව පවසා පුද්ගලයෙකු විසින් රුපියල් ලක්ෂ 5 සිට ලක්ෂ 20 දක්වා ප්‍රමාණයන්ගෙන් මුදල් අයකර පිරිසක් මුලාවට පත්කර ඇති බවත්, ඔහු විසින් පොරොන්දු වූ පරිදි කටයුතු නොකල බව පවසමින් (01 දින) කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට පැමිණිලි 25ක් පමණ ලැබී ඇත.

ඒ අනුව මෙම ජාවාරමට සම්බන්ධ ප්‍රධාන සැකකරු පැමිණිලිකරුවන්ගේද මැදිහත්වීම මත මරදාන පොලිසිය විසින් ඊයේ දිනම (2023.03.01) අත්අඩංගුවට ගෙන ඇති අතර, කාර්යාංශය වෙත කරන ලද පැමිණිලි අනුව අදාළ නීතිමය පියවර ගැනීම සඳහා කාර්යාංශයේ විමර්ශන අංශය වෙත (02 දින) භාරදී තිබේ.

සැකකරුට විරුද්ධව මේ වන විට පැමිණිලි 53ක් ලැබී ඇති අතර, මෙම ජාවාරමට හසුවූ තවත් පුද්ගලයින් මේ වන විටත් කාර්යාංශය වෙත පැමිණිලි කරමින් සිටියි. මෙම ජාවාරම සඳහා මොහුට ආධාර හා අනුබල දුන් ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සේවය කරන රජයේ නිළධාරියෙකුද කාර්යාංශයේ විමර්ශන නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම සැකකරුවන් දෙදෙනාම අද දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර මෙම මස 16 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

Read more

Local News