වීරකැටියේ පොලීසිය සහ ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක්

Share

වීරකැටිය අත්තනයාල ප්‍රදේශයේදී පොලිසිය සහ ගම්වාසීන් පිරිසක් අතර ගැටුමක් හටගෙන තිබෙනවා. මෙම ගැටුමෙන් පොලිස් නිලධාරීන් අට දෙනෙකු සහ ගම්වාසීන් දෙදෙනෙකු තුවාල ලැබුවා.

ගම්වාසියෙකු ගැටුම අතරතුර පොලිස් නිලධාරියෙකුගේ කණක් සපා කා ඇති අතර එම නිලධාරියා වැඩිදුර ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුලත් කර තිබෙනවා.

මෙම ගැටුම හටගෙන ඇත්තේ වීරකැටිය අත්තනයාල ප්‍රදේශයේදී. පොලිස් නිලධාරීන් පිරිසක් ඊයේ පස්වරු තුනට පමණ අත්තනයාල ප්‍රදේශයේ වැටලීමක් සඳහා ගොස් තිබෙනවා.

එම අවස්ථාවේදී මාර්ගයේ සිටි පිරිසක් ගැන සැක සිතූ පොලිස් නිලධාරීන් පරීක්ෂා කිරීමට සූදානම් වී තිබෙනවා. ඔවුන් එම පරීක්ෂා කිරීමට විරෝධය පළ කර ඇති අතර එහිදී ඇතිවූ බහින්බස් වීමක් පසුව ගැටුමක් දක්වා වර්ධනය වුණා.

පොලීසිය සහ එම පිරිස අතර ගැටුම හට ගන්නා අවස්ථාවේදී තවත් ගම්වැසියන් පිරිසක් එම ස්ථානයට පැමිණ පොලිස් නිලධාරීන්ට පහර දී තිබෙනවා. මෙම ගැටුමෙන් පොලිස් නිලධාරීන් අට දෙනෙකු තුවාල ලබා ඇති අතර ගම්වාසීන් දෙදෙනෙකුද තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

මෙම ගැටුම අතරතුර එක් පුද්ගලයෙකු උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ කණ සපාකෑම නිසා ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට මාරුකර යවා තිබෙනවා.

ගැටුම පිළිබඳ තොරතුරු වාර්තා වීමත් සමඟම එම ස්ථානයට පැමිණි වීරකැටිය පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් තත්වය පාලනය කර තුවාල ලැබූවන් රෝහල් ගත කිරීමටයි කටයුතු කර ඇත්තේ. ගැටුමට සම්බන්ධ සැකකාර කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙක් මේ වන විට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read more

Local News