කොලොන්නාව ද්‍රෝණියට ගංවතුරින් සිදුවන බලපෑම අවම කිරීමට විසඳුමක්

Share

කොලොන්නාව ද්‍රෝණියට ගංවතුර ගැලීමෙන් සිදුවන බලපෑම අවම කර ඒ සඳහා තිරසාර දිගුකාලීන විසඳුමක් ක්‍රියාත්ම කිරීම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාව විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ඒ සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 8,700කි.

කොලොන්නාව ද්‍රෝණියේ ගංවතුර අවම කිරීමේ ව්‍යාපෘතිය අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මකවේ. ඒ අනුව පළමු අදියර යටතේ දහම්වෙල ඇළ, පස්සන්න ඇළ, සැළලිහිණි ඇළ, ද්විතීයික ඇළ ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතය.

එමෙන්ම දෙවැනි අදියර යටතේ දඬුතොට ඇළ සහ ප්‍රදේශයේ තවත් ඇළ මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමට නියමිත අතර සැළලිහිණි ඇළ සහ දඬුතොට ඇළ මාර්ගවල ජලය බැසයාම සඳහා පොම්පාගාර දෙකක් ඉදිකිරීමට ද අදාළ කැබිනට් පත්‍රිකාව මගින් යෝජනා කර ඇත.

එම පොම්පාගාර දෙක තත්පරයට ඝන මීටර 10ක් හා තත්පරයට ඝන මීටර 5ක ධාරිතාවන්ගෙන් යුතුවේ.

2020 – 2022 දෙවසර තුලදී මෙම ව්‍යාපෘතියේ වැඩකටයුතු අවසන් කිරීමට නියමිතව තිබුණද කොව්ඩි-19 වසංගත තත්ත්වය හා එම කාලයේදී රට මුහුණදුන් ආර්ථික අර්බුධ හේතුවෙන් මෙහි ඉදිකිරීම් කටයුතු ප්‍රමාදවී තිබේ.

කැලණි ගඟ පිටාර ගැලීම හේතුවෙන් කොලොන්නාව හා ඒ ආශ්‍රිත ප්‍රදේශ නිරන්තරයෙන්ම ජලයෙන් යටවීම සිදුවේ.මේ හේතුවෙන් එම ප්‍රදේශවල ජීවත්වන ජනතාව දැඩි පීඩාවට පත්වේ.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසන්නේ කොලොන්නාව ජලාප්‍රවාහන ද්‍රෝණිය දැඩි ලෙස නාගරීකරණය වීම හේතුවෙන් ගංවතුර ගැලීම ඉහළ ගොස් ඇති බවයි.

Read more

Local News