Tuesday, March 19, 2024.

නොමිලේම උරුම ආභරණය

Share

නොමිලේම ලැබෙන, නොමිලේම දෙන්න පුළුවන් විස්මිත ඖෂධයක් තමයි සිනහව. මේක චිත්තවේග තුලනය කිරීමේ අපූරු බලවේගයක්.

ඩොපමයින්, සෙරටොනීන් වගේ අපේ ශරීරෙට හිතකර හෝර්මෝන සක්‍රීයව ඇති කරන්නෙත් මේ සිනහව මඟින්. ඩොපමයින් අපේ සතුට වැඩි කරනවා, අපේ ආතතිය මුදාහරින්නෙ සෙරටොනීන්. කාංසාව හා බය නැති කරලා ප්‍රීතිය හා අභිරුචිය ඇති කරන සිනහවෙන් අපේ සමාජ සබඳතා ශක්තිමත් කරනවා.

මේරියන්ඩ් විශ්වවිද්‍යාලයෙන් කරපු පර්යේෂණයකට අනුව සිනාසීම මඟින් හෘදයාබාධ අවම කරගන්න පුළුවන්.

ඒ කියන්නේ සිනාසෙද්දි අපේ රුධිර ගමනාගමනය කාර්යක්ෂම වෙලා රුධිර පීඩනය අවම කරනවා. ඒ වගේම ප්‍රතිශක්තීකරණ සෛල වැඩි කරලා, ආසාදන සමඟ සටන් කරන ප්‍රතිදේහත් වැඩි කරලා, ශක්තිමත් ප්‍රතිශක්තිකරණ පද්ධතියක් අපි තුළ ඇති කරන්න සිනහවට පුළුවන්.

සිනාසීමෙන් අපේ සුදු රුධිරානු වර්ධනය වෙනවා. අන්න ඒ නිසා අහිතකර බැක්ටීරියා ආශ්‍රිත රෝගවලින් අපිට ආරක්ෂාවක් ලැබෙනවා.

මුහුණේ මස් පිඬු වලට හොඳම ව්‍යායාමය තමයි සිනහව. සිනාසීමෙන් මස්පිඩු ක්‍රමයෙන් ශක්තිමත් වෙනවා. එතකොට මුහුණ ඉහලට ඇද දැමීමක් සිදුවෙනවා.

මේ නිසා වයස කීය වුණත්, ඔයා නිතරම හිනා වෙන කෙනෙක් නම් ඔයාට තරුණ පෙනුමක් ලැබෙනවා. එහෙම වෙන්න නම් ඔයාගේ සිනහව අව්‍යාජ වගේම නිහතමානී වෙන්නත් ඕනෙ.

මේ සිනහව විවිධ සංස්කෘතීන් එකතු කරන විස්මිත ජාත්‍යන්තර භාෂාවක්.

ඒ වගේම ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලය කරපු පර්යේෂණයකින් හෙළිදරව් වෙලා තියෙන විදිහට එක සිනාසෙන ශබ්දයකට පුළුවන්, හිනාවන් බොහෝ ප්‍රමාණයක් ඇති කරන්න. ඒ කියන්නෙ හිනාව ඉක්මනින් බෝ වෙනවා.

එතකොට අපි එකිනෙකාට බොහොම ආකර්ෂණීය වෙනවා.

බර්ට්‍රන්ඩ් රසල් කියලා තියෙන විදිහට සිනහව මිල කරන්න බැරි ඵලදායී වගේම විශ්ව ව්‍යාප්ත ඖෂධයක්.

සුන්දරත්වය කියන්නෙ බලයක් නම් ඒ බලය විදහා දක්වන කඩුව තමයි සිනහව. චාල්ස් රීඩ් කිව්වෙ අන්න එහෙමයි.

ඉතින් අතිශය පරාජයකට වුණත් ඔයාට හිනා වෙන්න පුළුවන් නම් ඒ තමයි ඔයාගේ මානසික ජයග්‍රහණය.

අනුන්ගේ දුකකදි වේදනාවකදි එයාට හිනාවෙන්න එපා කවදාවත්. ඒත් ගොඩ දෙනෙක් බලන් ඉන්නෙ, ඔයාට වරදිනකන්. ඒ මොකටද ? අපිට වැරදුණාම ඔවුන්ට පුළුවන් හැබැහින් වගේම හිත යටින් අපිට හිනාවෙන්න.

කමක් නෑ. ඔයා කොච්චර මානසිකව වැටුණත් සිනහව කියන ආභරණය පළඳින්න, ඔයා අමතක කරන්න එපා. ඒක තමයි ඔයාගෙ ශක්තිය.

කොහොම වුණත් නොමිලේම දෙන්න පුළුවන් සිනහවෙන් ඔයා අනුන්ට සංග්‍රහ කරන්න, ලෝභ වෙන්න එපා.

පී.එම්. දිනුක මධුෂාන්

Read more

Local News