කම්කරු නීතිවල වෙනසක් ?

Share

නවීන ලෝකයට නොගැලපෙන කම්කරු නීති වෙනස් කිරීමට කටයුතු කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර ප්‍රකාශ කරනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ පැවති කම්කරු නීති සංශෝධනයට ඉදිරිපත්ව තිබෙන යෝජනා ජනගත කිරීම සම්බන්ධයෙන් පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.

එහි දී, නව අදහස් ලබාගෙන අලුත් කම්කරු නීතියක් ඉදිරිපත් කිරීමට කටයුතු ක‍රන බවත්, සේවා ස්ථානය තුළ වෙනස්කොට සැලකීම වැලැක්වීමට නීති ගෙන ඒමටත් කටයුතු කරන බවත් ඔහු පැවසීය.

එමෙන්ම, පඩි පාලක සභා ආඥා පනතේ සහ සාප්පු හා කාර්යාල පනතේ පවතින වෙනස්කම් නැති කර, සැමට සමානව සලකන ආකාරයට කටයුතු කරන බවත්, සේවා ස්ථානය තුළ හිරිහැරවලට ලක්වීම වැලැක්වීම හා සියලුම ආකාරයේ ලිංගික හිංසන වැලැක්වීමට කටයුතු කරන බවත්, සේවකයාගේ කැමැත්ත අනුව දින පහක වැඩ සතියක් හා නම්‍යශීලී වැඩ කරන කාලය හදුන්වා දීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා මෙහි දී ප්‍රකාශ කළේය.

අර්ධකාලීන රැකියා කිරීමට අවස්ථා ලබාදෙන නීතිමය ප්‍රතිපාදන සකස් කිරීම සහ කොන්දේසිවලට යටත්ව කාන්තා සේවිකාවන් රාත්‍රියේ සේවයේ යෙදවීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීමට මෙන්ම පීතෘ නිවාඩු සම්බන්ධයෙන් නීතිමය ප්‍රතිපාදන ලබා දීමට ද කටයුතු කිරීමට අවශ්‍ය විධිවිධාන ගැනීම සම්බන්ධව මෙහි දී සාකච්ඡාවට බඳුන් විය.

එමෙන්ම, අතිකාල වැඩ කරන ප්‍රමාණය සහ ගෙවිය යුතු ගෙවීම් සම්බන්ධයෙන් ඒකමිතික ක්‍රමයක් හදුන්වා දීමටත්, නිවසේ සිට සේවය කිරීම විධිමත් කිරීම සදහා ක්‍රමවේදයන් හදුන්වා දීමටත්, විදේශීය සේවකයින් ලංකාවේ සේවය කිරීමේ දී එය විධිමත් කිරීම සදහා වන නීතිමය ප්‍රතිපාදන ගෙන ඒම සහ නියාමනය කිරීම සදහා නීති සකස් කිරීම කෙරෙහි ද මෙහි දී අමාත්‍යවරයාගේ අවධානය යොමුව තිබේ.

පුහුණුවන්නන්ට/ආධුනිකයින්ට අදාල නීතිමය ප්‍රතිපාදන සකස් කිරීම මෙන්ම ඒ සදහා වන නිවරදි අර්ථනිරූපණ ලබා දීමට ද, ජාතික වේතන කවුන්සිලයක් හඳුන්වාදීමට ද, ඒ මගින් කාලීන හා පිළිගත් ක්‍රමවේදයන්ට අනුව අවම වැටුප් ක්‍රමයක් හදුන්වාදීමට ද මෙහි දී යෝජනා විය.

Read more

Local News