මෙරට මුහුදු තීරය වටා පිහිටි ආකර්ෂණීය ස්ථාන හඳුනාගෙන ඒ සඳහා දෙස් විදෙස් සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමේ කඩිනම් වැඩපිළිවෙලක් සකස් කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා.
එවැනි ස්ථාන දියුණු කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු අනෙකුත් රාජ්‍ය ආයතන මෙන්ම පුද්ගලික අංශයද සම්බන්ධ කරගනිමින් සුදුසු ආයෝජකයන් සොයාගන්නා ලෙසද අමාත්‍ය ප්‍රසන්න රණතුංග වැඩිදුරටත් පෙන්වා දී ඇත.
බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී අද (10) පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයකි. එම ආයතනය විසින් දැනටමත් මෙරට වෙරළ තීරය ආශ්‍රිතව නව සංචාරක ස්ථාන 24 ක් හඳුනා ගෙන තිබේ.
ගඟේ වාඩිය, පුත්තලම කලපුව දූපත්, වයික්කාල, මීගමුව කලපුව, කපුන්ගොඩ, ප්‍රීතිපුර, කොක්ගල කලපුව, සීතගල්ල, රැකව කලපුව, ලුනම කලපුව, මලාල ලේවාය, කිරින්ද, කුනුකලේ බීච්, එලිෆන්ට් රොක්, සලතිව් දූපත, තඹලගමුව බේ, ගවනර් ඔෆිස්, උප්පුවේලි, සම්පල්තිව් බීච්, අර්යමල්ල බීච්, නයාරු බීච්, නන්දිකඩාල් බීච්, සන්තකුලම් බීච් මෙලෙස හඳුනාගෙන ඇති සංචාරක ස්ථානයන් වේ.
අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේ මෙරට වෙරළ තීරය ආශ්රයෙන් තවත් එවැනි ස්ථාන හඳුනාගැනීමට කටයුතු කරන ලෙසයි. මෙරට වෙරළ පරිසරය ආරක්ෂා කර ගනිමින් රට වටා පිහිටි වෙරළ තීරය විධිමත්ව සංවර්ධන කිරීමෙන් අප රට මුහුණදී සිටින ආර්ථික අර්බුදවලට විසඳුම් සොයාගත හැකි බවද එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.