බණ්ඩාරවෙල, කහත්තේවෙල ශ්‍රී සංඝරාජ විහාරස්ථාන පරිශ්‍රයේ ඉදි කරන ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම අර්තාපල් තීරු සැකසීමේ නිෂ්පාදන කර්මාන්ත ශාලාව මේ මස 11 වැනි දින විවෘත කිරීමට සියලු කටයුතු සූදානම් බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ කුඩා පරිමාණ කෘෂි ව්‍යවසායත්ව වැඩසටහන (SAPP) හා කහත්තේවෙල ජනතා ගොවි සමාගමේ මුල්‍ය දායකත්වය යටතේ ඉදි කරන ලද මෙම අර්තාපල් තීරු සැකසීමේ කර්මාන්ත ශාලාව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතයි.
මෙම අර්තාපල් තීරු සැකසීමේ නිෂ්පාදන කර්මාන්ත ශාලාව ඉදි කිරීම සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 100 ඉක්මවයි. අර්තාපල් තීරු (French Fries) මෙරටට ආනයනය කෙරෙන අතර ඒ සඳහා වාර්ෂිකව රුපියල් මිලියන 3500ක පමණ මුදලක් විදේශ රටවලට වැය කරන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
දැනට මෙරට සකසන ලද අර්තාපල් තීරු සඳහා ඉහළ ඉල්ලුමක් පවතින බැවින් මෙරට වගා කරන අර්තාපල් යොදා ගනිමින් අර්තාපල් තීරු සකස් කරන අතර ඒ සඳහා ගොවීන් 250කගේ අර්තාපල් මෙම කර්මාන්ත ශාලාව මිල දී ගන්නා අතර දෛනික අර්තාපල් තීරු කිලෝ ග්‍රෑම් 1000ක් නිෂ්පාදනය කිරීමට අපේකෂිතයි.



