පාර්ලිමේන්තුවට 70 වසරක් සපුරන මේ මොහොතේ පාර්ලිමේන්තුව ශක්තිමත් කර කටයුතු කළ යුතු යැයි පැවැසූ අගමැතිවරයා, තමන්ට දිරිදුන් සුබ පැතුම් එක් කළ සියලු ජනතාවට ස්තුති කරමින් මෙසේද පැවැසුවේය.
තම ජීවන අත්දැකීම අනුව දේශපාලන කටයුතු ජය ගැනීමට සියලු දෙනා තමන් මෙන් මනා විනයකින්, ඉවසීමකින්, ඊර්ෂ්‍යාවකින් තොරව ජය පරාජය දෙකම ඉවසා කටයුතු කළ යුතු බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිය ශූභාශිංසන විශේෂ පාර්ලිමේන්තු කතාව සිදු කරමින් ඊයේ (4) ප්‍රකාශ කෙළේය.
තම දේශපාලන දිවියෙන් අන් අයට ගත හැකි ආදර්ශය ද එය බව පැවැසූ අගමැතිවරයා, තමන්ට දේශපාලන දිවියේ ඉහළටම යෑමට මේ ගුණාංග හේතු වූ බව ද පැවැසීය. ආර්ථික සංවර්ධනයෙන් සහ සියලු ජාතීන් එක්ව වාසය කරන සංහිඳියාවෙන් යුක්ත රටක් නිර්මාණය කිරීමේ කේන්ද්‍රස්ථානය පාර්ලිමේන්තුව බවත් එම ක්‍රියාදාමය ජය ගැනීමට සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බවත් අගමැතිවරයා පැවැසුවේය.
පළමුවෙන්ම පක්ෂ නායක රැස්වීමේදි මගේ 40 වසර වෙනුවෙන් වෙනම රැස්වීමට ගත් තීරණයට මං ඔබතුමාටත් පක්ෂ නායකයින්ටත් ස්තුති කරනවා. ජාතික රාජ්‍ය සභාවට මං පළමුව පැමිණියා. අපේ ගාලු මෝදර පරණ ව්‍යවස්ථාදායක සභා ගොඩනැඟිල්ලේ එය පැවැතුණා. අපිට සර්වජන ඡන්දය ලැබුණායින් පස්සේ ඇති වූ රාජ්‍ය මන්ත්‍රණ සභාවත්, නිදහසෙන් පසුව ඇති වූ පාර්ලිමේන්තුවේ මහජන මන්ත්‍රණ සභාවත්, ජාතික රාජ්‍ය සභාවත් පසුව මේ පාර්ලිමේන්තුවත් එහි රැස් වුණා. කුඩා සභා ගර්භයක තමයි එදා අපි වැඩ කෙළේ. මට අවස්ථාව තිබුණා කැබිනට් ඇමැතිවරයකු හැටියට මේ ස්ථානයට ඒමට මට හැකි වුණා. එදා තිබුණ මේ වගුරු බිමයි, කුඩා වැවයි දූපත මැද එදා මේ ගොඩනැඟිල්ල ඉදි කරන්නට තීරණය වුණා. 1982 සිට මේ පාර්ලිමේන්තුව මෙතැන ආරම්භ කළා. ආසියාවේ තිබෙන අලංකාරම පාර්ලිමේන්තුව තමයි මේ තැන. ආණ්ඩු පක්ෂයේදීත්, විපක්ෂයේදීත් මං එකක් කළා. කොයිම අමාරු අවස්ථාවකදී වුවත් පාර්ලිමේන්තුව රැස්විය යුතුයි කියලා. ඒ අනුව පැය භාගයකට හෝ රැස් වුණා. දේශපාලනයට මාව යොමු කෙළේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා. ඒකට මං එතුමාට ණය ගැතියි. ජේ.ආර්. ජයවර්ධන මහතාගේ පාර්ලිමේන්තු පළපුරුද්ද ගාමිණි දිසානායකටත්, ලලිත් ඇතුළත්මුදලිටත් ඇතුළු අපි තරුණ මැති ඇමැතිවරුන්ට ලබා දුන්නා. විශේෂයෙන්ම ලංකා පාර්ලිමේන්තු සම්ප්‍රදාය, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව එහි රසවත් කතා සියල්ලම වාගේ විටින් විට අපට දැන්වූවා. ඊට පසුව ආර්. ප්‍රේමදාස ජනාධිපතිතුමා එක්කත් කටයුතු කරන්න මට හැකි වුණා. මගේ පාර්ලිමේන්තු පළපුරුද්ද ආවේ පාර්ලිමේන්තුවට ඒමටත් පෙර. අවුරුදු 7 ක් ජේ.ආර්. මහතා විපක්ෂ නායක විදියට ක්‍රියා කළා. මාස හතක් අගමැතිවරයා විදියට ජාතික රාජ්‍ය සභාවේ ක්‍රියා කළා. 1988 අවසන් වන තුරු ප්‍රේමදාස මැතිතුමා අගමැති විදියට ක්‍රියා කළා. ඒවායින් තමයි මට විශේෂයෙන්ම මේ පිළිබඳ අත්දැකීම් ලැබුවේ. අවුරුදු 20 ක් විතර පාර්ලිමේන්තුව ගැන මං ඉගෙන ගත්තා. මගේ දැනුම වැඩි වුණා. ඒ දෙන්නාට විශේෂයෙන්ම මං ස්තුති කළ යුතුයි. ඒවගේම අපි තවත් දෙයකට පුරුදු වුණා. එනම් ආපසු විපක්ෂයට යාමට. විපක්ෂයට යනවා කියන්නේ ඇත්ත වශයෙන්ම වළගම්බා රජතුමා කැලයට යනවා වගේ අත්දැකීමක්. ඒ අත්දැකීම මොකද්ද කියලා අපි විතරයි දන්නේ. ඒ නිසා විශේෂයෙන්ම මගේ අත්දැකීම් අනුව එකක් වැඩිහිටි උගතුන්ගේ අවවාද රත්තරන් වගේ සැලකිය යුතුයි. තම අත්දැකීම් මඟින් ඉගෙන ගන්න. ඒ දෙක අනුව තමා ඉදිරියට යා හැක්කේ. ලෝක ඉතිහාසයේ සදාකාලික දේශපාලන සමාජයක් නැහැ. මේ වසර 40 තුළ ලංකාවේත් ලෝකයේත් විශාල විපර්යාස ඇති වුණා. තවමත් ඒවා සිදු වෙනවා. මාක්ස්වාදය තිබූ රටවලින් සම්පූර්ණයෙන්ම අවසන් වෙලා. 1977 යුරෝපීය කේන්ද්‍රස්ථානයක් වූ දේශපාලනයක් ආසියාවේ තිබුණේ. අද ආසියාව ශීඝ්‍රයෙන් නැඟී එනවා. ඒ වගේම තමයි ලංකාවෙත් විපර්යාස සිදුව තිබෙනවා. අපට වෙළෙඳ ආර්ථිකය ලැබුණා. මහවැලිය වැනි විශාල සංවර්ධන වැඩසටහන් ආරම්භ කළා. 1983 දි ජාතිවාදි කෝලාහල තිබුණා. බෙදුම්වාදය තිබුණා. ත්‍රස්තවාදය තිබුණා. යුද්ධය තිබුණා. ඉන්දු ලංකා ගිවිසුම තිබුණා. ඉන්දියන් සාම හමුදාව ලංකාවට ආවා. 13 වැනි සංශෝධනයෙන් පළාත් සභා ඇති වුණා. දකුණෙත් භීෂණයක් තිබුණා. ජනාධිපතිට විරුද්ධව දෝෂාභියෝගයකට අපි මුහුණ දුන්නා. ජනාධිපති ඝාතනයක් ඇති වුණා. විපක්ෂ නායක ඝාතනයක් ඇති වුණා. ඉන්පසුව පළමුවෙන්ම කාන්තාවක් චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ජනාධිපති වුණා. සාමය සඳහා ව්‍යායාමයක් ගත්තා. මම අගමැතිවරයා විදියට සාම ගිවිසුමකට ඉදිරිපත් වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නැත්නම් පොදු පෙරමුණේ ජනාධිපතිවරයකුයි, එජාප මන්ත්‍රීවරුන් සිටින ඇමැති මණ්ඩලයක් ඇති කළා . ජනාධිපති අපේක්ෂකයෙක් හිරේ දමන එක අපි දැක්කා. ප්‍රථම වතාවට විවිධ දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන එක්ව මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා විදියට පත් කළා. ශ්‍රීලනිපය හා එජාපෙ එක්ව ජාතික ආණ්ඩුවක් ඇති කළා. මගේ දේශපාලන ගමනේ පසුවිපරමය එය. කැබිනට් ඇමැති, නියෝජ්‍ය ඇමැති, සභානායක, මන්ත්‍රීවරයකු, අගමැතිවරයකු, විපක්ෂ නායක හැටියට ඒ පසුබිමෙන් මා හැදුණා. මා සමඟ අද තවත් මන්ත්‍රීවරු දෙදෙනකු සිටිනවා. මං වගේ අවුරුදු 40 කට පෙර පාර්ලිමේන්තුවට ඔවුන් පැමිණියා. ඒ දෙදෙනා තමයි ආර්. සම්බන්ධන් විපක්ෂ නායකතුමයි, ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතායි. ඒ දෙදෙනාටම මං වගේ පාර්ලිමේන්තුවේ දිගටම සිටිය නොහැකි වුණා. අවුරුදු 40 සංකේතයක් එය. ප්‍රතිපත්තියක් විදියට සම්බන්ධන් විපක්ෂ නායකතුමා පක්ෂයේ සාමාජිකයිනුත් සමඟ පාර්ලිමේන්තුවෙන් ඉවත් වුණා. මේ රටේ ජනවාර්ගික ප්‍රශ්නය විසඳීමට අපි එක්ක කතා කළා. ඉන්දු ලංකා ගිවිසුම ක්‍රියාත්මක කරන විට තමයි එතුමා නැවත පාර්ලිමේන්තුවට පැමිණියේ. ජයවික්‍රම පෙරේරා මහතා සම්බන්ධ වන්නේ 13 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ඇති වූ පළාත් සභාවට. එතුමා පළාත් මහ ඇමැතිවරයකු විදියට සාර්ථකව පළාත් සභාව කර ගෙන ගියා. එසේ නම් මං එක්ක මේ සභාව නියෝජනය කරන මේ දෙදෙනාත් අපේ දේශාපාලනය එක අතකින් සංකේත හැටියට එක කණ්ඩායමක් ප්‍රතිපත්තියක් විදියට පාර්ලිමේන්තුවෙන් පිටව ගියා. අනෙක් මන්ත්‍රීතුමා පළාත් සභා ක්‍රියාත්මක කරන්න ගියා. මේ සභාවේදි මට අද කියන්න තිබෙන්නේ මේ ගමන ඉදිරියටම යා යුතු බවයි. යුද්ධය ඉවරයි. නමුත් විපක්ෂ නායකතුමා කී විදියට සාමයයි ජාතික ප්‍රශ්නය විසඳීමයි, ආර්ථිකයයි එකට එක්ව තිබෙනවා. සංවර්ධනය එතැන තිබෙනවා. බාර ගන්න ගියා. ශ්‍රී ලාංකිකයන් විදියට හැමදෙනාම එක්ව ඉදිරියට යා යුතුයි. මෛත්‍රීපාල ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මේ පක්ෂ සියල්ලටම එක්ව කටයුතු කළ හැකියි. අපි සියලු දෙනාමට ජීවත් විය හැකි කාටවත් මදිපුංචිකම් නොකරන දේශපාලනයක් මෙරට ස්ථාපිත කළ යුතුයි. ප්‍රධාන පක්ෂ දෙකම එක්ව සිටින නිසා කිසිදු බියකින් තොරව දියුණු ආර්ථිකයක් ඇති කිරීමට අඩිතාලම දැමිය යුතුයි. ශීඝ්‍ර දියුණුවක් ළඟා කර ගැනීමට අපි පියවර ගත යුතුයි. මේ සියල්ලම කිරීමට පාර්ලිමේන්තුව කේන්ද්‍රස්ථානය කර ගත යුතුයි. අපි දැනටම පාර්ලිමේන්තුව ශක්තිමත් කර ගෙන යනවා. සර්වජන ඡන්දයෙන් තේරුණු ආසියාවේ පැරණිම පාර්ලිමේන්තුව විදියට 70 වැනි සංවත්සරය සමරනවා. පාර්ලිමේන්තුවට තිබෙන මූල්‍ය බලතළ වැඩි කරනවා. අලුත් කාරක සභා ක්‍රම ගෙනැවිත් තිබෙනවා. යුරෝපය, ජපානය රටවල පාර්ලිමේන්තුවල වගේ බලතළ අපේ මන්ත්‍රීන්ට දිය යුතුයි. ඒ ව්‍යවස්ථාදායක වැඩවලට අවශ්‍ය ආයතන පිහිටුවිය යුතුයි. ඒ සමඟම මට උදව් උපකාර කළ සියලුදෙනාමට මගේ ස්තුතිය ප්‍රකාශ කරනවා. විශේෂයෙන්ම මගේ දෙමාපියන්ට, භාර්යාවට, පවුලේ සියලුදෙනාටම, මගේ කාර්ය මණ්ඩලයට, අපේ පක්ෂයේ අයට මං ස්තුති වෙනවා. ඒ අයගේ උදවු උපකාර මත තමයි මට මේ ගමන එන්නට හැකි වුණේ. මගේ පළපුරුද්දෙන් හා අත්දැකීමෙන් දිය හැකි උපදෙස් තිබෙනවා. ඒවා නම් විනය, ඉවසීම, ඊර්ෂ්‍යාව නැතිව තමන්ගේ වැඩකටයුතු කිරීම, ජය පරාජය දෙකම එක සේ පිළි ගැනීම යනාදියයි. ස්තුතියි.