ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කිරීම වෙනුවෙන් සකස් කරන ලද පාර්ලිමේන්තු පනත් කෙටුමිපතේ ඉදිරි කටයුතු පිළිබඳව සහ ආදීවාසීන්ගේ මුලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් පවතින නීතිමය ගැටලු නිරාකරණය කිරීමට පරිසර අමාත්‍යංශය සංවිධානය කළ සාකච්ඡාවක් ඊයේ (22) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගිත්වයෙන් පැවැත්විය.
ආදිවාසී ජනතාවගේ ඓතිහාසික වටිනාකම පිළිබඳව පැහැදිලි කළ මෙම සාකච්ඡාවට සහභාගී වූ ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තන්, මේ වන විට ඔවුන් මුහුණ දෙන ගැටලු අග්‍රාමාත්‍යවරියගේ අවධානයට යොමු කළේය.
එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය අනුව සකස් කළ ආදීවාසී අයිතිවාසිකම් පනත පිළිබඳවත්, ආදිවාසීන්ගේ දෛනික ජීවිතය තුළ මුහුණ දෙන ගැටළු පිළිබඳවත් පැහැදිලි කළ ආදිවාසී නායකයා, මෙතෙක් පැවති ආණ්ඩු යම් යම් ක්‍රියාමාර්ග ගත්ත ද සිය ගැටළුවලට නිසි විසඳුමක් නොලැබුණු බවද පෙන්වා දුන්නේය.
ආදිවාසීන් යනු අපේ රටේම ජන කොටසක් බවත්, සියලු දෙනාට හිමිවන අයිතිවාසිකම් ආදිවාසීන්ට ද හිමි විය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙහි දී පැවසීය.
ආදිවාසී ජන කොටසක් ලෙස ඔවුන් මුහුණ දෙන ගැටලු අවම කිරීම සඳහා පවතින නෛතික සහ තාක්ෂණික කාරණා පිළිබඳ අවධානය යොමු කළ අග්‍රාමාත්‍යවරිය ඉදිරි මාස තුන තුළ ආදිවාසීන්ගේ අයිතිවාසිකම් දිනාදීම වෙනුවෙන් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නිලධාරීන්ට පැවසීය.