සාමාන්‍ය පෙළ විද්‍යාව ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් අසත්‍ය පුවතක්

Share

අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ විභාග දෙපාර්තමේන්තුවේ නම අවභාවිත කරමින් ව්‍යාජ ලෙස සැකසූ නිවේදනයක් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ සංසරණය වන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

එම නිවේදනයට අනුව,

“මෙවර ප්‍රශ්න පත්‍රය විෂය බාහිරට ගොස් ප්‍රශ්න රටාව වෙනස්කොට සකසා ඇති අතර ඊට පිළියමක් වශයෙන් විද්‍යාව විෂය සඳහා මුහුණ දුන් සියලු සිසුන්ට අමතර ලකුණු 08ක් හිමිවන බවත් ඒ ඒ සාමාර්ථයන් සඳහා වන ලකුණු මට්ටම් ලකුණු 10කින් අඩු කර තිබෙන බව ද විශිෂ්ට සාමාර්ථයක් ලකුණු 65කට වඩා ලබාගත් සෑම කෙනෙකුට ම හිමි”

එබැවින් ඉහත ප්‍රකාශය ව්‍යාජ ලෙස සකසා සමාජ මාධ්‍ය තුළ පමණක් සංසරණය වීමට සලස්වා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසන අතර එවැනි කිසිදු තීන්දුවක් ගෙන නොමැති බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් දැනුම්දෙයි.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හෝ විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රවෘත්ති නිවේදන නිකුත් කිරීම සිදුකරනු ලබන්නේ නීත්‍යනුකූලව ලියාපදිංචි ජනමාධ්‍ය ආයතන සහ අන්තර්ජාල වෙබ් අඩවි සඳහා පමණක් බව අධ්‍යාපන අමාත්‍යාංශය සිය නිවේදනයෙන් දැනුම්දෙයි.

ඒ සෑම නිවේදනයක්ම අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලිපි ශීර්ශය සහිතව හෝ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ලිපි ශීර්ශය සහිතව අදාළ බලධාරියාගේ අත්සන ද සහිතව මාධ්‍ය වෙත නිවැරැදි සුපරීක්ෂණයකින් පසුව සිදු කෙරේ.

එමනිසා එවන් ව්‍යාජ පුවත්වලට නොරැවටෙන ලෙස මහජනතාවගෙන් කාරුණික ව ඉල්ලා සිටින බව අධ්‍යාපන අමාත්‍යංශය නිකුත්කළ එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේයි.

Read more

Local News