භාවිතයෙන් ඉවතලන ද්‍රව්‍ය එක්රැස් කිරීම ව්‍යාපෘතිය “පරිසර පොළ” සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට.

Share

ඉවතලන ද්‍රව්‍ය එක් රැස් කිරීම, අලෙවි කිරීම සහ මිලදී ගැනීම ඇතුළු ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව අමාත්‍යවරයාගේ දැඩි අවධානය.


බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ මඟපෙන්වීම මත කළුතර ප්‍රාදේශීය සභාව පරිසර සුරක්ෂිතතාව අරමුණු කරගනිමින් ක්‍රියාත්මක කරනු ලබන “පරිසර පොළ” පසුගියදා සෞඛ්‍ය හාජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින් ජයතිස්ස මහතාගේ නිරීක්ෂණයට ලක් විය.
මෙහිදී කළුතර වස්කඩුව, වාඩියවත්ත ක්‍රීඩාංගණයේ පැවති පරිසර පොළ අමාත්‍යවරයා නිරීක්‍ෂණය කළ අතර භාවිතයෙන් ඉවතලන ද්‍රව්‍ය එක් රැස් කිරීම, අලෙවි කිරීම සහ වෙළඳුන් විසින් මිලදී ගැනීම ඇතුළු අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව අමාත්‍යවරයා දැඩි අවධානය යොමු කරන ලදී. එමෙන්ම අදාළ වැඩසටහන ක්‍රියාත්මක වන ආකාරයත්, පවතින අඩුපාඩු පිළිබඳවත් එම වැඩපිළිවෙළට උපරිම ජනතා සහභාගීත්වයක් ලබා ගනිමින් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද මෙහිදී අමාත්‍යවරයා සොයා බලන ලදී.
මෙම භාවිතයෙන් ඉවතලන ද්‍රව්‍ය එක් රැස් කිරීමේ “පරිසර පොළ” වැඩපිළිවෙළ යටතේ භාරගනු ලබන ද්‍රව්‍ය නිසි පරිදි වර්ගීකරණය කර ප්‍රතිචක්‍රීකරණ කටයුතු සඳහා අදාළ ආයතන වෙත සපයනු ලබන අතර, ඒ තුළින් විශාල වශයෙන් පරිසරය දූෂණය වීමෙන් වළක්වා ගැනීමට අවස්ථාව උදාවේ.
භාවිතයෙන් ඉවතලන ද්‍රව්‍ය අනිසි ලෙස පරිසරයට බැහැර කිරීම තුළින් මිනිස් සෞඛ්‍යයට, පරිසර පද්ධති වලට සහ පරිසරයේ සමස්ත ගුණාත්මකභාවයට අහිතකර බලපෑම් ඇති කරනු ලබන බැවින් භාවිතයෙන් ඉවතලන ද්‍රව්‍ය කළමනාකරණ වැඩපිළිවෙල ශක්තිමත් කිරීමේ වැදගත්කම මෙහිදී අමාත්‍යවරයා අවධාරණය කරන ලදි. තවද එම වැඩපිළිවෙළ පිළිබඳව ජනතාව දැනුවත් කරමින් ගම් නගර පුරා ව්‍යාප්ත කිරීමේ අවශ්‍යතාවය මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන ලදී.
නිවෙස් වල ව්‍යාපාරික ස්ථානවල හා සේවා ස්ථානවල භාවිතයෙන් ඉවතලන පොලිතින්, වීදුරු, පොල්කටු, ටින්, යකඩ, ඇලුමිනියම්, කඩදාසි, පොත්, පත්තර, කාඩ්බෝඩ්, විදුලි හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය මෙම “පරිසර පොළ” වෙත භාර කරනු ලබන අතර ඒ සඳහා මූල්‍ය වටිනාකමක් ද එම ද්‍රව්‍ය ලබා දෙන්නට ගෙවීම විශේෂත්වයකි.
මෙම නිරීක්‍ෂණ අවස්ථාවට කළුතර ප්‍රාදේශීය සභාවේ සභාපති අරුණ ප්‍රසාද් චන්ද්‍රසේකර මහතා ඇතුළු ප්‍රදේශීය සභා මන්ත්‍රීවරුන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මෙන්ම ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.

Read more

Local News