වාර්ෂික ගාස්තු සංශෝධනයට අදාළව ජූලි 01 වනදා සිට සිදුවන සංශෝධනයක් සඳහා බත්තරමුල්ල මගනැගුම කාර්යාලයේදී ඊයේ(25) ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් බස් සංගම් සහ ප්‍රවාහන අමාත්‍යාංශයේ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණි.
මෙහිදී, බස් ගාස්තු 2.5% කින් අඩු කිරීමට නියමිත බවත්, පළමු හා දෙවන ගාස්තු කාණ්ඩවල කිසිඳු වෙනසක් නොවනු ඇති බවත් ජාතික ගමනාගමන කොමිෂන් සභාව බස් සංගම්වලට දන්වා ඇත. අදාළ ගාස්තු සංශෝධනය නිල වශයෙන් පසුව ප්‍රකාශයට පත් කරන බවද එම කොමිෂන් සභාව සඳහන් කරයි.
කෙසේ වෙතත් රජයේ මෙම යෝජනාවට බස් සංගම්වල අප්‍රසාදය පළවී ඇත. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ, වාර්ෂික බස් ගාස්තු සංශෝධනයක් සිදු කිරීමේදී ඉන්ධන මිළ වෙනස්කම් සලකා බැලීම සඳහා ඇති සූත්‍රය මෙවර ක්‍රියාත්මක නොවූ බවයි. එමෙන්ම, ජූලි මාසයේදී සිදුකළ හැකි ඉන්ධන මිළ සංශෝධනයක් සමාලෝචනය කිරීමේදී, ඩීසල් මිළ වැඩි වුවහොත් බස් හිමියන්ට දැඩි ආර්ථික බරක් සිදුවිය හැකි බවද ඔහු සදහන් කළේය.