වසර 10කට පසු ජාතික ධීවර යාත්‍රා සංගණනය අද ඇරඹේ

Share

අද (අගෝස්තු 4) සිට 20 වනදා දක්වා දිවයින පුරා ජාතික ධීවර යාත්‍රා සංගණනයක් පැවැත්වීමට ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. මෙම සංගණනය වසර 10කට පමණ පසු පැවැත්වෙන අතර, එහි පළමු අදියර අද පානදුර ධීවර වරායෙන් ආරම්භ කිරීමට නියමිතයි.

මෙම සංගණනයේ ප්‍රධාන අරමුණු කිහිපයක් ලෙස රටේ ඇති ධීවර යාත්‍රා 50,000ක් පමණ පිළිබඳ යාවත්කාලීන දත්ත පද්ධතියක් නිර්මාණය කිරීම, ක්‍රියාකාරී ධීවර යාත්‍රා හඳුනා ගැනීම, භාවිතයෙන් ඉවත් කර ඇති සහ අබලන් වූ යාත්‍රා වෙරළ තීරයෙන් ඉවත් කර “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනට සහාය වීම, සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට සහාය වීම, ධීවර මෙහෙයුම් බලපත්‍ර ක්‍රමවත් කිරීම පෙන්වා දිය හැකියි.

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සෑම ධීවර තොටුපළකටම පැමිණ, යාත්‍රා පරීක්ෂා කර, පර්‍රික්ෂා කරනු ලැබූ යාත්‍රා හඳුනා ගත හැකි ආකාරයේ විශේෂ ස්ටිකරයක් අලවනු ලැබේ. මෙම සංගණනයෙන් ලබා ගන්නා තොරතුරු මත ලබන වසරේ සිට ධීවර යාත්‍රා සඳහා මෙහෙයුම් බලපත්‍ර සහ අනෙකුත් සහන සේවාවන් ලබා දීමට නියමිතයි. සංගණනයට ඉදිරිපත් නොවන යාත්‍රාවල බලපත්‍ර අලුත් නොකිරීමට ද තීරණය කර ඇති බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Read more

Local News