2016 දී එක්සත් ජාතීන්ගේ (UN) මානව හිමිකම් කොමසාරිස්වරයා වූ සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී, කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ග අවහිර කරමින් මහජනතාවට පීඩා වන ලෙස උද්ඝෝෂණය කළ බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු පුද්ගලයන් 6 දෙනෙකුට එරෙහිව නඩුවක් ගොනු කර තිබුණා.
මෙම නඩුව පසුගියදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ කැඳවන ලද අතර, නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය සඳහා නොවැම්බර් මස 10 වනදා යළි කැඳවන ලෙසයි අධිකරණය නියෝග කර ඇත්තේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලීසිය විසින් පැමිණිල්ල ගොනු කර තිබූ අතර, චෝදනාවට අනුව මෙම පිරිස 2016 පෙබරවාරි 6 වැනි දින තූම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවක් පවත්වා තිබෙනවා. එමඟින් මහජනතාවට බාධා සහ අපහසුතා ඇතිවීම හේතුවෙනුයි ඔවුන්ට මෙම චෝදනා එල්ල වී ඇත්තේ.