මර්වින් සිල්වාට එරෙහි නඩුව විභාගයට දින නියම වෙයි

Share

හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩුවක් විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය දින නියම කර තිබෙනවා. ඒ අනුව, මෙම නඩුව නොවැම්බර් මස 17 වැනිදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් නියෝග කර තිබෙනවා.

මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී, නඩුවට අදාළ ලේඛන කිහිපයක් අල්ලස් කොමිසම විසින් විත්තියට භාර දෙන ලදී. ඉන් අනතුරුව, නඩු විභාගය සඳහා දිනයක් නියම කරන ලෙසයි අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියේ. එම ඉල්ලීම පිළිගත් විනිසුරුවරයා නඩුව විභාගයට ගැනීම සඳහා මෙලෙස දින නියම කර තිබෙනවා.

2010 සිට 2012 දක්වා කාලය තුළ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් නීත්‍යානුකූල නොවන ආකාරයෙන් රුපියල් මිලියන 150කට ආසන්න වටිනාකමකින් යුත් වත්කම් සහ දේපළ උපයා ගත් බවට චෝදනා කරමිනුයි අල්ලස් කොමිසම මෙම නඩුව ගොනු කර ඇත්තේ. දූෂණ විරෝධී පනත යටතේ හිටපු අමාත්‍යවරයාට එරෙහිව මෙම චෝදනා එල්ල වී තිබෙනවා.

Read more

Local News