කෙහෙලිය ඇතුළු පවුලේ සමාජිකයින්ට එරෙහි නඩුවට දින දෙයි

Share

රුපියල් මිලියන 97කට ආසන්න වටිනාකමකින් යුත් වත්කම් අයථා ලෙස අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල , ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා සහ බෑනාට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කර ඇති නඩුව වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ඔක්තෝබර් මස 15 වනදා කැඳවීමට කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර කෙහෙළිය රඹුක්වැල්ල වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස අධිකරණයට දැනුම් දුන්නේ, විත්තියට අත්‍යවශ්‍ය ලේඛන 12ක් මෙතෙක් පැමිණිල්ල (අල්ලස් කොමිසම) ලබා දී නොමැති බවයි.

ඊට ප්‍රතිචාර දැක්වූ අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි සහකාර අධ්‍යක්ෂ ජනරාල් සුභාෂිනි සිරිවර්ධන, ඉල්ලා ඇති ලේඛන පිළිබඳ සොයා බලා කඩිනමින් ලබා දීමට කටයුතු කරන බව අධිකරණයට දැන්වූ අතර, ඇතැම් ලේඛන තවමත් පවතින විමර්ශනවලට අදාළ බව ද ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව, අදාළ ලේඛන කඩිනමින් විත්තියට ලබා දීමට පියවර ගන්නා ලෙස අල්ලස් කොමිසමට නියෝග කළ විනිසුරුවරයා, නඩුව ඔක්තෝබර් 15 වනදා දක්වා කල් තබා ඇති බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Read more

Local News