නවක හෙද හෙදියන් 294 දෙනෙකු සහ වාග් චිකිත්සක නිලධාරීන් 9 දෙනෙකු මෙන්ම ඖෂධවේදීන් 6 දෙනෙකු සෞඛ්‍ය සේවාවට ඇතුළත් කර ගැනීමේ පත්වීම් ලිපි ප්‍රදානෝත්සවය අද (10) පෙරවරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජාතික රෝහලේ නව බාහිර රෝගී අංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණා.
තුන්වන ශ්‍රේණියේ හෙද නිලධාරීන් ලෙස පත්වීම් ලබන මෙම නවක හෙද නිලධාරීන් 2019 සිසු හෙද කණ්ඩායම යටතේ තුන් අවුරුදු හෙද පුහුණු පාඨමාලාව සාර්ථකව නිම කරන ලද සිසු හෙද හෙදියන් වේ. සුවපත් රටක් උදෙසා ඉදිරි වසර දහයට සරිලන පරිදි සියලු අංශ ආවරණය කරමින් කෙටුම්පත් වන සෞඛ්‍ය ප්‍රතිපත්තිය තුළ බෝනොවන රෝග පාලනය, ප්‍රතිකාර කිරීම, මානසික සෞඛ්‍ය, පෝෂණය යන ක්ෂේත්‍ර සඳහා විශේෂ අවධානයක් යොමු කරමිනුයි මෙම නවක වෘත්තිකයන් පත්කොට ඇත්තේ.
වාග් චිකිත්සක නිලධාරීන් මෙරට පිළිගත් විශ්ව විද්‍යාලයක කතන හා භාෂා චිකිත්සක විශේෂවේදී උපාධිය සම්පූර්ණ කර ඊට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් පවත්වන ලද විභාගය සමත් වී අවශ්‍ය වන සියලු සුදුසුකම් සම්පූර්ණ කරන ලද නිලධාරීන් වන අතර තුන්වන ශ්‍රේණියේ ඖෂධවේදීන් ලෙස පත්වීම් ලබන මෙම නිලධාරීන් වසර දෙකක ඖෂධවේදී ඩිප්ලෝමාව සාර්ථකව නිමකරන ලද හා අවශ්‍ය වන අනෙකුත් සියලු සුදුසුකම් සම්පූර්ණ කරන ලද නිලධාරීන්ය.
ගුණාත්මක හා ප්‍රශස්ථ රෝගී සත්කාර සේවාවක් අඛණ්ඩව පවත්වා ගෙන යාම අරමුණු කර ගනිමින් උතුර සහ නැගෙනහිර පළාත් ප්‍රමුඛ කරගනිමින් දිවයින පුරා පිහිටි මධ්‍යම රජය යටතේ පාලනය වන රෝහල් හා පළාත් සභාව යටතේ පාලනය වන රෝහල්වල පවතින පුරප්පාඩු සලකා බලා 2025.10.15 වන දින සිට ක්‍රියාක්මක වන පරිදි මෙම නවක නිලධාරීන් අනුයුක්ත කර තිබෙනවා.