මන්නාරම දූපතේ නීති විරෝධී ලෙස ඛනිජ කැණීම් වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙබරවාරි 10 වනදා කරුණු තහවුරු කිරීම සඳහා කැඳවීමට නියම කර තිබෙනවා. පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පිරිසක් විසිනුයි මෙම පෙත්සම ගොනු කර ඇත්තේ. පෙත්සම්කරුවන් කියා සිටින්නේ නිසි ටෙන්ඩර් පටිපාටියකින් තොරව බලපත්‍ර නිකුත් කිරීම නීතියට පටහැනි බවත්, එමගින් රටට විශාල ආර්ථික පාඩුවක් සිදුවන බවත්ය.
පරිසර යුක්ති කේන්ද්‍රය, මන්නාරම පුරවැසි කමිටුවේ සභාපති සන්තියාගෝ මාකස් පියතුමා ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා. මෙම පෙත්සම අද අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ අදාල පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා පෙබරවාරි මස 10 වනදා කැදවන ලෙසයි.
විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස භූ විද්‍යා හා පතල් කාර්යාංශය, වෙරල සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන කිහිපයක් නම් කර තිබෙනවා. මෙම නීති විරෝධී කැණීම් මගින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙසත්, පාරිසරික ඇගැයීම් සිදුකරන ලෙසත්, අලුතින් බලපත්‍ර නිකුත් කිරීම වළක්වන ලෙසත් පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා සිටින බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.