දුම්රිය දෙපාර්තමේන්තුවේ හිටපු සාමාන්‍යධිකාරීවරයෙකු වූ සුමතිපාල මහනාම අබේවික්‍රම දූෂණ චෝදනා සම්බන්ධයෙන් ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් සැකකරු, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවට ඉදිරිපත් කෙරිණි.
අධිකරණයට කරුණු වාර්තා කරමින් අල්ලස් කොමිසම සඳහන් කළේ, දුම්රිය අනතුරක් නිසා විනය පරීක්ෂණයකින් පසු සේවයෙන් පහ කිරීමට නියම කර තිබූ අයි.එල්.කේ. දසනායක නැමති දුම්රිය රියදුරාව සේවයෙන් පහ නොකර සේවයේ තබා ගැනීමෙන් ඔහුට වාසියක් සලසා දීමේ දූෂණ වරද මෙම හිටපු සාමාන්‍යාධිකාරීවරයා සිදුකර ඇති බවයි.
මෙම සිද්ධියට අදාළ විමර්ශන අවසන් බවට අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේය. ඒ අනුව, මහේස්ත්‍රාත්වරයා සැකකරු රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ අතර, ඔහුගේ විදේශ ගමන් තහනම් කිරීමටද නියම කළේය. මෙම පැමිණිල්ල නැවත ලබන වසරේ පෙබරවාරි මස 20 වන දින කැඳවීමට නියම කර ඇත.




                                    