මනුෂ්‍ය ඝාතන සැලසුමක් ව්‍යර්ථ කෙරේ – 05ක් අත්අඩංගුවට

Share

බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය විසින් පුද්ගල ඝාතනයක් සිදුකිරීමට සැලසුම් කළ සැකකරුවන් 05 දෙනෙකු ඊයේ (11) පෙරවරුවේ රත්මලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම ඝාතන සැලසුම දියත් කර ඇත්තේ, පසුගිය 06 වනදා දෙහිවල වනරතන පාර ප්‍රදේශයේදී ගිනි අවියකින් වෙඩි තබා සිදුකළ ඝාතනයට පළිගැනීමක් වශයෙනුයි. අත්අඩංගුවට ගත් වයස අවුරුදු 22 සහ 36 අතර වයස්වල පසුවන මෙම පිරිසට පුද්ගලයෙකු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම ඇතුළු චෝදනා එල්ල වී ඇති අතර, ඔවුන් පංකුලම, රත්මලාන, බොරලැස්ගමුව සහ මොරටුව ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

අත්අඩංගුවට ගත් පංකුලම ප්‍රදේශයේ සැකකරු සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 15 ක් සොයාගෙන ඇති අතර, ඔහු 2025 ජනවාරි 19 දින ගල්කිස්ස ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමේ ඝාතනයක වෙඩික්කරු වන අතර ඒ සම්බන්ධ නඩුවක්ද විභාග වෙමින් පවතින බවද වාර්තා වනවා. තවද, අපරාධය සඳහා භාවිතා කිරීමට සූදානම් කර තිබූ සොරාගත් යතුරුපැදියක් ද සැකකරුවන්ගෙන් අනාවරණය වූ තොරතුරු මත මේ වනවිට සොයාගෙන තිබෙනවා. සැකකරුවන් අද (11) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය මේ වනවිට මෙහි වැඩිදුර විමර්ශන සිදු කරන බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Read more

Local News