ආපදා කළමනාකරණය සඳහා අදියර කිහිපයකින් සමන්විත වැඩපිළිවෙලක් – අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර

Share

ආපදා කළමනාකරණය සඳහා අදියර කිහිපයකින් සමන්විත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව වාරිමාර්ග, ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

අදාළ වැඩපිළිවෙල කි‍්‍රයාත්මක කිරීම සඳහා වූ පළමු අදියර සැලසුම් කිරීමට අදාළ අමාත්‍යංශයේදී ඊයේ (06) පැවැති සාකච්ඡාවකදී නිලධාරීන් දැනුම්වත් කරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

නායයාම්, ගංවතුර, ගිලා බැසීම් වැනි අනතුරුදායක තත්ත්වයන් කල්වේලා ඇතිව හඳුනා ගැනීමත්, එම තත්ත්වයන් පාලනය කිරීමට පියවර ගැනීමත් මෙම වැඩපිළිවෙලේ මූළික අදියරයට ඇතුළත්ය. එමෙන්ම විවිධ අනතුරුදායක තත්ත්වයන් හේතුවෙන් ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කර සිටින හා අවදානම් තත්ත්වයන් හේතුවෙන් ස්වේච්ඡවෙන් ම සිය පදිංචි ස්ථාන අතහැර දමා සිටින ජනතාව ආරක්‍ෂිත ස්ථානවල පදිංචි කිරීම සම්බන්ධයෙන්ද මූලිික අවදානය යොමු කරන බව අමාත්‍යවරයා පැවසීය.

2030 වසර දක්වා කි‍්‍රයාත්මක ආපදා කළමනාකරණ සැලැස්මේ කොටස් මේ වන විටත් සකස් කරමින් පවතී. කෙසේ වෙතත් අමාත්‍යවරයා පවසන්නේ එම වැඩපිළිවෙලේ මූලික කටයුතු දැන් සිටම ආරම්භ කළ යුතු බවයි. සමස්ත සැලස්ම සකස් කිරීමෙන් අනතුරුව ගැඹුරු කාරණා පිළිබඳ අවදානය යොමු කළ හැකි බවද දැනට සිදු කළ හැකි කාර්යයන් කල්වේලා නොයවා ආරම්භ කළ යුතු යැයිද අමාත්‍යවරයා පැවසීය.

Read more

Local News