ඇමරිකාවේ CNN පුවත් සේවය ඊයේ (17) නිකුත් කළ වාර්තාවකට අනුව, ඇමරිකානු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු විසින් ඇමරිකාව සහ ඉරානය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුමේ නිල පිටපත එදින මාධ්‍ය හමුවේ ඉදිරිපත් කර ඇත.
එම ලේඛනයට අනුව, ඇමරිකාව සහ ඉරානය සියලු හමුදා මෙහෙයුම් වහාම සහ ස්ථිරවම නතර කර ඇති අතර, අනාගතයේදී එකිනෙකාට එරෙහි යුදමය තත්ත්වයන් කරා නොයන බවටත් හමුදා මෙහෙයුම්වල නිරත නොවන බවටත් ප්‍රතිඥා දී තිබේ. එමෙන්ම ඇමරිකාව සහ ඉරානය උපරිම දින 60ක් ඇතුළත සාකච්ඡා පවත්වා අවසන් එකඟතාවයකට පැමිණීමට පොරොන්දු වන බවත් එහි සඳහන් වේ.
තව ද අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමෙන් පසු ඇමරිකාව ඉරානයට එරෙහි නාවික අවහිරතා ඉවත් කිරීමේ කටයුතු වහාම ආරම්භ කරන අතර, දින 30ක් ඇතුළත එම අවහිරතා සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම ද සිදු කරනු ඇත.
මේ අතර ඉරානයේ ප්‍රතිසංස්කරණ හා ආර්ථික සංවර්ධනය සඳහා අවම වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 300 ක් ආයෝජනය කිරීම සඳහා, සිය කලාපීය හවුල්කරුවන් සමඟ කටයුතු කිරීමට ඇමරිකාව ප්‍රතිඥා දී ඇති අතර, එය අවසන් ගිවිසුමේ කොටසක් ලෙස ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණය දින 60 ක් ඇතුළත තීරණය කරනු ඇත. එමෙන්ම දෙරට අතර අවබෝධතා ගිවිසුම ක්‍රියාත්මක කිරීමෙන් පසු ඉරානයට එරෙහි සියලු සම්බාධක අවසන් කිරීමටත්, අත්හිටුවන ලද හෝ සීමා කරන ලද ඉරාන අරමුදල් සහ වත්කම් නිදහස් කිරීමටත් ඇමරිකාව පොරොන්දු වන බව එහි වැඩිදුරටත් සඳහන්ය.
එසේම අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීමෙන් පසු දින 60 ක කාලයක් තුළ පර්සියානු බොක්ක සහ ඕමාන් මුහුදු කලාපය අතර වෙළඳ නෞකා සඳහා ආරක්ෂිතව සහ නොමිලේ යාත්‍රා කළ හැකි බව ඉරානය සහතික කරනු ඇතැයි ද එම ලේඛනයේ දැක්වේ. මීට අමතරව, ඉරානය න්‍යෂ්ටික අවි අත්පත් කර නොගන්නා බවත්, ඒවා සංවර්ධනය නොකරන බවත් නැවත අවධාරණය කෙරෙන මෙම ගිවිසුමට අනුව, ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ අධීක්ෂණය යටතේ ඉරානයේ සාරවත් කළ යුරේනියම් ස්ථානීයව තනුක කිරීම සිදු කිරීම සඳහා දෙපාර්ශ්වයම එකඟ වූ බව ද සඳහන්ව ඇත.
Share
Read more



