මහනුවර නගරයේ වාහන තදබදයට විසඳුමක් ලෙස මහනුවර නගර සභාව මගින් කටුකැලේ ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත මහල් නවයකින් යුත් රථගාල සහිත වෙළඳ සංකීර්ණය ඉදිකිරීම සඳහා පළාත් සභා පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ඇති දේශීය ණය හා සංවර්ධන අරමුදලින් රුපියල් මිලියන 1000ක සහන ණය මුදලක් ලබා දීමට නියමිතය.
ඊට අදාල ගිවිසුම අත්සන් කිරීම පළාත් සභා පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා රාජ්‍ය අමාත්‍ය ශ්‍රියාණී විජේවික්‍රම මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් පළාත් සභා පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ දී සිදුකෙරිණි.
දේශීය ණය හා සංවර්ධන අරමුදලේ සභාපති අමාත්‍යාංශ ලේකම් කමල් පත්මසිරි මහනුවර නගරාධිපති කේසර .ඩී. සේනානායක යන මහත්වරු මෙම ගිවිසුම අත්සන් කළහ.
150,000 පමණ නාගරික ජනගහනයක් හා දිනකට ලක්ෂ 06ක් පමණ දෙස් විදෙස් සංචාරකයින් පැමිණෙන මහනුවර නගරයේ වාහන තදබදය අවම කිරීම සඳහා මහනුවර කටුකැලේ ප්‍රදේශයේ මෙම රථගාල සහිත වෙළඳ සංකීර්ණය ඉදි කෙරේ.