ආතර් වී දියෙස් මහතා සිහි කරමින් කොස් පැල දසලක්ෂයක් රෝපණය කිරීමේ වැඩපිළිවෙළ ඇරඹේ

Share

කොස් ගස් පුනරුද ව්‍යාපාරයේ නිර්මාතෘ ආතර් වී දියෙස් මහතා එම ව්‍යාපෘතිය ආරම්භ කර වසර 100 ක් සැපිරීම නිමිත්තෙන් සහ “අපි වවලයි – අපි කන්නේ” වගා ව්‍යාපාරයේ සමාරම්භක අවස්ථාව සනිටුහන් කරමින් කොස් පැළ දසලක්ෂයක් රෝපණය කිරීමේ වැඩපිළිවෙළ ඊයේ (11) පානදුර ජෙරමියස් දියෙස් කණිෂ්ඨ විද්‍යාලයේ දී ආරම්භ විය.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගිය සතියේ කඩිනම් කෘෂිකාර්මික වැඩපිළිවෙළ හඳුන්වාදුන් අතර එහි ප්‍රධාන ව්‍යාපෘතියක් වූයේ කොස් පැළ දසලක්ෂයක් දීප ව්‍යාප්තව රෝපණය කිරීමේ වැඩසටහන් ආරම්භ කිරීමයි. මෙහිදී කොස් පැළ ගොවි පවුල් වෙත බෙදාදුන් අතර කොස් දන්සලක් ද සංවිධානය කර තිබුණි.

මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ආතර් වී දියෙස් මහතා දේශපාලඥයෙකු නොවූවත් එතුමා කිසිදිනෙක දේශපාලඥයින් ඉදිරියේ දණ නොනැමූ උතුම් පුද්ගලයෙක් බවත් විශේෂයෙන්ම රටට නිදහස ලැබුණු අවස්ථාවේ ඒ මහතා ජාතික, බෞද්ධ හා කළු පැහැති කොඩි 03ක් එල්ලමින් රටට නිදහස ලැබුනත් මේ රට කිසි දිනෙක විදේශ රටවලින් නිදහස් නොවන එදා පෙන්වූ බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

“අද අපි කෝටි දසදහසක් විදේශ රටවලට ණය වී සිටින්නෙමු. කිරි දරුවෙක් පවා රුපියල් ලක්ෂ 04 ක් වර්තමානයේ විදේශ රටවලට ණය වී සිටී. මේ තත්ත්වයෙන් ගොඩඒමට නම් අප කළ යුත්තේ අපට අවශ්‍ය දේවල් අප රටේම නිපදවා ගැනීමයි. “අපි වවලයි – අපි කන්නේ” වැඩසටහන ආරම්භ කළේ ඒ නිසායි. අපිට අවශ්‍ය දේ අපි අපේම රටේ නිපදවා ගැනීමේ වැඩ පිළිවෙළකට අපි යොමු විය යුතුයි” යැයි ද කීය.

“අප රටේ සෑම ප්‍රදේශයකම පැණි දොඩම් වගා කළ හැකි නමුත් වසරකට රු.මි. 958 ක් වැයකර විදේශ රටවලින් මෙරටට දොඩම් ආනයනය කරනවා. එසේම මිදි ආනයනය සඳහා අපි වාර්ෂිකව වැයකරන මුදල රු.මි. 2,766 ක්. අප රටේ සෑම ප්‍ර දේශයකම වගා කළ හැකි කහ සහ ඉඟුරු තවමත් විශාල වශයෙන් මෙරටට ආනයනය කරනවා. ඒ සඳහා වාර්ෂිකව වැය කරන මුදල රු.මි. 1,315 ක්. රටපුරාම තිබෙන හිස් ඉඩම්වල මෙන්ම පොල් රබර් වගාවන් අතරේත් ඉඟුරු සහ කහ වගා කළ හැකියි. ඒ සඳහා ලෝක වෙළෙඳ පොල තුළ විශාල ඉල්ලුමක් තිබෙනවා. අපේ ගොවීන්ට එමගින් විශාල ආදායමක් උපයා ගත හැකියි”.

“අද මෙම අවස්ථාවට ආතර් වී දියෙස් මැතිතුමාගේ පවුලේ සාමාජිකයින් පැමිණ සිටිනවා. ආතර් වී දියෙස් මහතා කොස් සිටුවීමේ ව්‍යාපාරය ගෙන ගියේ ජාතික සේවාවක් වශයෙන්. එතුමා හොඳ දානපතියෙක්. සමාජ සේවකයෙක්. ඒ වගේම දේශප්‍රේමියෙක්”.

කොස් වගාව ප්‍රචලිත කිරීම සඳහා මෙන්ම කොස් ගස් ආරක්ෂා කර ගැනීම සඳහාත් ඒ පිළිබඳ නීති රීති ක්‍රියාත්මක කිරීමටත් සුදුසු පරිදි කොස් සංවර්ධන අධිකාරියක් ස්ථාපිත කිරීමට යෝජනා කරන බවත් ඒ සඳහා අමාත්‍යාංශ නිලධාරීන් එක්ව පවතින නෛතික තත්ත්වයන් සලකා බලා කටයුතු කරන ලෙස ඉල්ලා සිටින්නේ යැයි ද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

Read more

Local News