අග්‍රාමාත්‍යතුමාගේ පොසොන් පොහෝ දින පණිවුඩය

Share

බුදු දහම පෙරදිග බිහි වූ විශිෂ්ඨතම අධ්‍යාත්මික දර්ශනයකි. මෛත්‍රීය, මුදිතාව, කරුණාව, උපේක්ෂාව පදනම වූ නිදහස් නිවහල් චින්තනයට අනුබල දෙන්නාවූ බුදු දහම සාමය, සංහිදියවට, අධ්‍යාත්මික නිවීමට මඟක් කොට ගනිමින් සමස්ත ලොව වෙත එහි සැබෑ හරය අත්දකින්නට සැලැස්වීම අප සතු වගකීමකි.

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ පිරිස විසින් බුදුදහම වැඩමවීමත් සමඟ, අප රටේ පාලන තන්ත්‍රය, සාහිත්‍ය කලා ශිල්ප, කෘෂි කර්මාන්තය, වාරි කර්මාන්තය ආදී ක්ෂේත්‍රවල මෙන්ම සමස්ත සමාජය තුළ පැහැදිලි නවෝදයක් ඇති විය. බුදු දහමේ හර පද්ධතිය නූතන දියුණු සමාජය තුළ වුවද අධ්‍යාත්මිකව පොහොසත්, යහපත් මිනිසුන් ගොඩනගන්නට, සමාජය වඩා සාධාරණ සහ යහපත් තැනක් බවට පත්කරන්නට ලබා දෙන්නේ නොමඳ ආලෝකයකි.

අප ඒ ධර්මාලෝකය, ධර්මාවබෝධය ලබන්නේ නම් වෛරය, ක්‍රෝධය, අසමඟිය පවතින්නට ඉඩක් නැත. මේ සඳහා හේතුපාදක වන විවිධ සමාජ හා ආර්ථික සාධකයන් ඇති බවද සත්‍යයකි. එහෙත් සැබෑ ලෙසම බුදුන් වදාළ ධර්මය අනුගමනය කරන්නේ නම් එම බාධක බිඳ දමමින් තිරසරව සාමය හා සංහිදියාව අප රට තුළ ගොඩනැගීමට හැකිවනු ඇත. ඒ සඳහා කැපවීමෙන් කටයුතු කිරීම අප සැමගේ වගකීමකි. ධර්මාවබෝධයෙන් සැම සිත් ප්‍රඥාසම්පන්න වන බැතිබර පොසොන් මංගල්‍යයක් වේවා.

රනිල් වික්‍රමසිංහ
අග්‍රාමාත්‍ය

Read more

Local News