දකුණු ආසියානු කලාපයේ වැඩිම ඉල්ලුමක් ඇති දත්ත සම්පේ‍්‍රෂණ කේන්ද්‍රස්ථානයක් ජනාධිපති ප‍්‍රධානත්වයෙන් විවෘත කෙරේ

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් (02) පස්වරුවේ දකුණු ආසියානු කලාපයේ වැඩිම ඉල්ලුමක් ඇති දත්ත සම්පේ‍්‍රෂණ කේන්ද්‍රස්ථානයක් වශයෙන් ශී‍්‍ර ලංකාවට හිමි ස්ථානය තවදුරටත් ඉහළ නංවමින් ශී‍්‍ර ලංකා ටෙලිකොම් පී.එල්.සී ආයතනය විසින් මාතර ප‍්‍රදේශයේ ස්ථාපිත කරන ලද SEA-ME-WE 5 මුහුදු සංදාම පද්ධතියෙහි හුවමාරු මධ්‍යස්ථානය විවෘත කෙරිණි.

මුහුදු සංදාම පද්ධතියෙහි හුවමාරු මධ්‍යස්ථානය මෙහිදී ගාල්ලේ සිට ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ජනාධිපතිතුමා අතින් විවෘත කෙරුණු අතර අනතුරුව ගාල්ලේ ස්ථාපිත රැහැන් ඩිපෝව සඳහා මුල්ගල් තැබීම ද ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ජනාධිපතිතුමා අතින් සිදු විය.

ශී‍්‍ර ලංකාව වෙත 48 Tbps ක වේගයෙන් යුතු ගෝලීය බෑන්ඩ්විත් පරාසයක් හිමිකර දෙමින් අග්නිදිග ආසියානු, මැදපෙරදිග හා බටහිර යුරෝපීය කලාපයේ රටවල් 17 ක විදුලි සංදේශ සමාගම් රැසක සහභාගිත්වයෙන් ආරම්භකර තිබෙන මෙම නවීන මුහුදු සංදාම පද්ධතිය ශී‍්‍ර ලංකා ආර්ථිකය ඩිජිටල්කරණ යුගයක් කරා පියවර තබමින් සිටින අවස්ථාවක ජාත්‍යන්තර සේවා සැපයූම් වඩා කාර්යක්ෂම කිරීම වෙනුවෙන් කි‍්‍රයාත්මක සුවිශේෂී ව්‍යාපෘතියකි.